Saturday, May 10, 2025
Home » STF මොරටු කඳවුරේ බුද්ධි අංශ IP – PC කුඩු එක්ක මාට්ටු

STF මොරටු කඳවුරේ බුද්ධි අංශ IP – PC කුඩු එක්ක මාට්ටු

-දෙදෙනා සිටි වෑන් රිය යුක්තිය මෙහෙයුමට දුන් එකක්

by sachintha
August 22, 2024 12:06 am 0 comment

 

මහා පරිමාණයේ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් කළ රහසිගත දීර්ඝ විමර්ශනයකින් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකායේ මොරටුව කඳවුරේ බුද්ධි අංශයට සම්බන්ධව සේවයේ නිරත පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු රුපියල් කෝටි 02කට අධික වටිනා හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 53ක් සමඟ පිළියන්දලදී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (20) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගනු ලැබීය. මෙම හොරොයින් තොගය රුපියල් කෝටියකට අලෙවි කිරීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනා සූදානමින් සිට ඇති බව ද සඳහන්ය.

සංවිධානාත්මක අපරාධ මැඬලීම සඳහා දියත් කරන ලද යුක්තිය මෙහෙයුමට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කර සිටින විශේෂ පොලිස් කණ්ඩායමේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම කර හෙරොයින් තොගය සමඟ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑන් රථයක් ද සමඟිනි. එම වෑන් රථය යුක්තිය මෙහෙයුමට අදාළව මත්ද්‍රව්‍ය හා පාතාල මෙහෙයුම් කටයුතු සඳහා විශේෂ කාර්ය බළකායට දී තිබුණු එකක් බව ද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයා වසර 10ක පමණ කාලයක් මත්කුඩු වැටලීමේ සහ පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුම්වල නිරතව සිටි වැටලීම් රැසක් සිදු කරන ලද නිලධාරියකු බව පොලිස් තොරතුරු සඳහන් කළේය. පසුගිය ජූනි 10 වැනිදා හෝ ඒ ආසන්න දිනකදී ලොකු පැටී නමැති පාතාලයේ අපරාධකරුට අයත් බව කියන මත්කුඩු තොගයක් සමඟ ආයුධ රැසක් කැස්බෑවේ කැබැල්ලගහවත්තේ පිහිටි නිවෙසින් සොයා ගත්තේ ද මෙම නිලධාරීන් දෙදෙනාගේ මෙහෙයවීමෙනි.

පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් ප්‍රසිද්ධ කළ තොරතුරුවලට අනුව එම මත්කුඩු තොගය අතර රුපියල් කෝටි 30ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 13ක්, හෑස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 164ක් තිබී සොයා ගත්තේය. ගිනි අවි දෙකක් ද ඊට අමතරව සොයාගෙන තිබුණු අතර සැකකරුවන් ද තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පිළියන්දලදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇති තොරතුරුවලට අනුව සැකකරනු ලබන්නේ එදා කැස්බෑවේදී සොයාගත් ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය තොගයෙන් කොටසක් මෙම නිලධාරීන් විසින් සඟවා තබා මෙලෙස අලෙවි කිරීමට සූදානම් වී ඇති බවය. මෙම මත්කුඩු තොගය තිබී ඇත්තේ තනි පැකට්ටුවක් ලෙස බවත් තවත් පැකට්ටුවක් මෙම නිලධාරීන් අලෙවි කර ඇති බවට සැකකරන තොරතුරු රැසක් කොළඹ අපරාධ කොට්ඨාසයේ වැටලීම සිදු කළ නිලධාරීන්ට අනාවරණය වී ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ගිනි අවි ජාවාරමක් සම්බන්ධයෙන් සැකකරුවකු පස්සේ පැන්නීමේදී මෙම මත්කුඩු ජාවාරම ගැන තොරතුරු හෙළිවී ඇති බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායම විමර්ශන ආරම්භ කරමින් සිටියදී පිළියන්දල මිරිස්වත්තේ පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයේ රථ ගාලට විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණෙන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ අනුව මෙම වැටලීම සිදුකර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

එම වැටලීම සිදු කරන අවස්ථාවේදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනා සතුව තිබී අත්විලංගු යුගලක්, විද්‍යුත් තරාදියක් ද තිබී ඇත.

විශේෂ කාර්ය බළකා නිලධාරීන් රැඳී සිටි වෑන් රථයේ රියැදුරු ලෙස සිවිල් ඇඳුමින් සිට ඇත්තේ පොලිස් පරීක්ෂකවරයා බවත් වෑන් රථයේ රියැදුරු අසුනට යාබද අසුනේ සිට ඇත්තේ කොස්තාපල්වරයා බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. වැටලීම සිදු කරන විට මත්ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තිබුණේ යැයි පොලිස් නිවේදනවල සඳහන්ව ඇත්තේ පොලිස් කොස්තාපල්වරයා සතුවය. ඒ අනුව ඔහුට මත්කුඩු ජාවාරම යන චෝදනාව එල්ල කර අත්අඩංගුවට ගත් බවත් පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් ජාවාරමට අනුබල දීම සම්බන්ධයෙන් බවත් සඳහන්ය.

පොලිස් පරීක්ෂකවරයා වයස අවුරුදු 35ක් වන අදාළ කඳවුරේ දෙවැනියා ලෙස සේවයේ නිරතව සිටින්නකු බවත් කොස්තාපල්වරයා වයස අවුරුදු 32ක් වන අයකු බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ, නුගේගොඩ සමූහ – සමීර අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT