කොවිඩ් රෝගය පැතිරෙන ආකාරයට අධිකරණ නියෝග නොතකමින් උද්ඝෝෂණයක් සහ පෙළපාළියක් පවත්වන ලද බවට චෝදනා කරමින් මහනුවර මූලස්ථාන පොලිසිය විසින් විදුහල්පති හා ගුරු සංගම් කිහිපයකට එරෙහිව පවරන ලද නඩුවකට අදාළ චෝදනා වසර තුනක් ඉක්මගොස් තිබුණ ද මෙතෙක් ඉදිරිපත් කර නැති බව පෙරේදා (21) එම නඩුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී අනාවරණය විය.
එසේම එම උද්ඝෝෂණය සහ පෙළපාළිය සඳහා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ගත් බවට ද පොලිසිය පැමිණිල්ල මඟින් කරුණු ඉදිරිපත් කර තිබුණද, එවැනි නියෝගයක් අධිකරණයෙන් නිකුත් කර නැති බව නඩු ගොනුවෙන් හෙළි වූ බව මේ නඩුව විභාගයට ගත් මහනුවර, අංක 2, මහේස්ත්‍රාත් රාසික් මොහොමඩ් මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.
වැටුප් විෂමතා විසඳා ගැනීමට මහනුවර නගරයේදී 2021. 8. 11 වැනි දින පවත්වන ලද ගුරු විදුහල්පති උද්ඝෝෂණයකට සහ පෙළපාළියකට එරෙහිව මේ නඩුව ගොනු කර තිබේ.
විදුහල්පති ශ්‍රේණිධාරි සංගමයේ ප්‍රධාන ලේකම් සරත් මුදුන්කොටුව, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමි, විදුහල්පති ශ්‍රේණිධාරි පෙරමුණේ සභාපති සුදත් විජේසුන්දර, සරසවි උයන ජාතික පාසලේ විදුහල්පති ජයන්ත බණ්ඩාර, හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති කපිල ප්‍රියන්ත, මහනුවර රාසිංදේවි විදුහල්පති අමුතු බණ්ඩාර ඇතුළු විදුහල්පතිවරුන් 20 දෙනකු සහ ගුරුවරුන් තිදෙනකු මේ නඩුවේ වගඋත්තරකරුවෝ ලෙස නම් කර සිටිති.
වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ මේ නඩුව පවරා මේ වන විට වසර තුනක පමණ කාලයක් ගතවී තිබුණද චෝදනා ගොනු කිරීමට පැමිණිල්ල අසමත්ව සිටින බවයි.
එසේම වගඋත්තරකාර පාර්ශ්වය ලෙස ගුරු විදුහල්පතිවරුන්ට අමතරව තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ද මේ නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණද, ඔවුන් කවුරුන් දැයි පැමිණිල්ල ගොනුකළ පොලිසිය පවා නොදන්නා බව ද නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.
පළමු වැනි නඩු වාරයේදී පොලිස් ආඥා පනතේ 55 වන වගන්තිය යටතේ තම සේවාදායකයන්ට එරෙහිව නඩුවක් ගොනු කරන බව ද, දෙවන නඩු වාරයේදී මංමාවත් ආඥා පනත යටතේ නඩුවක් ගොනු කරන බව ද, ඊළඟ නඩු වාරයේදී දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව නඩුවක් ගොනු කරන බව ද පොලිසිය ප්‍රකාශ කර ඇති බව පෙන්වා දුන් නීතිඥයන් වසර තුනක් ගෙවී ගොස් තිබියදීත් පොලිසිය තවමත් සිදු කරමින් සිටින්නේ පැමිණිලි ගොනු නොකර විමර්ශන පමණකැයි ද කීහ.
මේ අනුව පෙනී යන්නේ මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් ගුරු විදුහල්පතිවරුන්ට එරෙහිව කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ චෝදනා එල්ල කරමින් නඩුවක් පැවරුව ද ඊට අදාළ සාක්ෂි සහ චෝදනා ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත්ව සිටින බව යැයි ද එම නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පොලිසියේ මේ අකාර්යක්ෂමතාව හමුවේ ගුරු විදුහල්පතිවරුන්ට සිය රාජකාරි පසෙක දමා ඉතා දුරබැහැර සිට මේ නඩුවට පෙනී සිටීම සඳහා අධිකරණය වෙත පැමිණීමට සිදුව ඇති බව ද වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.
අනාවරණය වූ මේ කරුණුවලට අනුව පොලිසිය අධිකරණය පවා නොමඟ යවා ඇති බවට ද නීතිඥවරු චෝදනා කළහ.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් රාසික් මොහොමඩ් මහතා සොයා ගැනීමට නොහැකිව සිටින වගඋත්තරකරුවන් දෙදෙනා නඩුවෙන් ඉවත් කරන ලෙස පොලිසියට නියම කර අදාළ චෝදනා මීළඟ නඩු වාරයේදී අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන ලෙසත්, එසේ නොවුණොත් ගොනුවේ කටයුතු මීළඟ නඩු වාරයේදී අවසන් කරන බවත් පොලිසියට දැනුම් දුන්නේය.
නඩුව නැවත විභාගයට ගැනීම ඔක්තෝබර් මස 28 වැනි දිනට කල් තැබීය. වගඋත්තරකරුවන් වෙනුවෙන් මොහොමඩ් ෆසාල් මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.