මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ගුණානුස්මරණය නිමිති කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයෙන් සංවිධාන කෙරෙන ‘මහාචාර්ය කාලෝ ෆොන්සේකා අනුස්මරණ පර්යේෂණ දිනය’ අද (23) පෙරවරු 08.30 සිට රාත්‍රි 08.30 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයීය උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට පෙරමුණ ගත් මහාචාර්යවරයා වශයෙන් ද, වෛද්‍ය පීඨයේ පළමු පීඨාධිපතිවරයා වශයෙන් ද කටයුතු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ මතකයන් ආවර්ජනය කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහජන සෞඛ්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්ය අනුරාධනී කස්තුරිරත්න මහත්මිය සමඟ සිදු කළ සංවාදයකි, මේ.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට කටයුතු කළේ කොහොම ද?
කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට පෙර 1981 රාගම උතුරු කොළඹ නමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස තමයි පිහිටා තිබුණේ. විවිධ පාර්ශ්වයන්ගේ ප්‍රතිපත්තිමය බලපෑම් සමඟ එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විශාල විරෝධයක් පැවතුණා. මේ අතර රටේ විශාල කලබලකාරී යුගයක් පහුවෙලා රජයෙන් ගත්ත ප්‍රතිපත්තියක් මත එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගත්තා. රජයට පවරා ගැනීමෙන් පසු එම පීඨය කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැටියට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ 1991දී. ඒ අවස්ථාවේ තමයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා පළමු පීඨාධිපතිතුමා හැටියට කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සම්බන්ධ වුණේ.
වෛද්‍ය පීඨය ආරම්භ කළාට පස්සේ හතර වෙනි කණ්ඩායමේ වෛද්‍ය ශිෂ්‍යාවක් හැටියට තමයි මම පීඨයට ඇතුළත් වෙන්නේ. 1991 – 1994 කාලවකවානුව ඉතා අභියෝගාත්මක කාලයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පැවති වෛද්‍ය පීඨය රජයට පවරා ගැනීමත් සමඟ විශාල දේශපාලනික සහ සමාජයීය වශයෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණදෙන්න සිදු වෙලා තියෙනවා. මෙවැනි අභියෝග මධ්‍යයේ තමයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා පීඨය භාරගෙන වැඩ කටයුතු සිදු කර තියෙන්නේ.
මට මතකයි, මම වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස පීඨයට ඇතුළත් වන විට පීඨයේ සම්පත් අතින් ගොඩක් අඩුපාඩුකම් පැවතුණා. එවැනි තත්ත්වයක් යටතේ වුවත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා පීඨය දියුණු කිරීමට කැපවෙලා වැඩ කළා. එතුමා වෛද්‍යවරයෙක් වගේම සාහිත්‍ය කලාව, දේශපාලනය ආදී විවිධ ක්ෂේත්‍ර සම්බන්ධව හසල දැනුමක් පැවතීම නිසා රටේ බොහෝ දෙනාගේ ආදරය හා ගෞරවය නොමඳව ඔහුට ලැබුණා. ඔහුට තිබුණ මේ ප්‍රසිද්ධිය හා ගෞරවය නිසාම රජය ප්රමුඛ විවිධ පාර්ශ්ව විසින් වෛද්‍ය පීඨය දියුණු කිරීම සඳහා විවිධාකාරයෙන් සහාය දී තියෙනවා.
අලුතින් වෛද්‍ය පීඨයක් බිහි වෙනකොට ඒකට තියෙන පිළිගැනීම අඩුයි. නමුත් ඒ වගේම තමයි වෛද්‍ය වෘත්තිය කියන්නේ ඉතා තරගකාරී වෘත්තියක්. මේ තරගකාරී වෘත්තියමය පසුබිම යටතේ නව වෛද්‍ය පීඨයක් ආරම්භ කර එය අනෙක් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සමඟ තරගකාරීව පිළිගැනීමකින් යුක්තව පවත්වාගෙන යන්න මහාචාර්ය කාලෝ ෆොන්සේකා ලොකු ප්රයත්නයක් දැරුවා. කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨය ආරම්භ කළේ මෙරට පස්වන වෛද්‍ය පීඨය හැටියට. ඊට ප්‍රථම ආරම්භ කළ කොළඹ, පේරාදෙණිය, යාපනය සහ රුහුණු විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට මුල් කාලයේ ලොකු පිළිගැනීමක් තිබුණා. නමුත් ඒ සියලුම විශ්වවිද්‍යාල අබිබවා වර්තමානය වනවිට කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉහළ පිළිගැනීමකින් යුක්ත පීඨයක් බවට ඉතා කෙටි කාලයකින් පත්වීමට මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් දැමූ මූලික අඩිතාලම ඉතා වැදගත් වුණා.
වෛද්‍ය ශිෂ්‍යාවක් වශයෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා පිළිබඳ ඔබතුමියගේ මතකයන් මොන වගේද?
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සමඟ මට ගොඩක් අත්දැකීම් සහ මතකයන් තියෙන්නේ වෛද්‍ය ශිෂ්‍යාවක් හැටියට ඉගෙනුම් ලබන කාලයේ. ඒ කාලය ගැන මම අදටත් මතක් කරද්දි ලොකු සතුටක් හිතට දැනෙනවා. මම මෙතැනදී සඳහන් කරන්න ඕන මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැනි රටේ ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක් යටතේ අධ්‍යාපනය හදාරන්න ලැබුණු එකම මම හිතන විදිහට මා ප්රමුඛ ඔහුගෙන් අධ්‍යාපනය ලැබූ සියලුම වෛද්‍ය විද්‍යාර්ථීන් ලද භාග්‍යයක්. වෛද්‍ය ක්ෂේත්රය තුළ හා අනෙකුත් ක්ෂේත්‍ර තුළ දී අපට ලොකු පිළිගැනීමක් ලැබෙන්නත් ඒක ලොකු හේතුවක් වුණා.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා තීරණාත්මක අවස්ථාවේ කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨය භාරගෙන ඉතා හොඳ නායකත්වයක් දුන්නා. මා දකින අනෙක් වැදගත්ම දේ තමයි විෂය කරුණු ඉගැන්වීමට එතුමා තුළ තිබු සහජ හැකියාව හා දක්ෂකම. වෛද්‍ය විද්‍යාව සම්බන්ධව ඒ කාලවකවානුවේ බිහිවූ ඉතා හොඳ දේශකයෙක් ලෙස මා ඔහුව දකිනවා. ඔහුගෙන් ඉගෙන ගත් සියලු වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් දක්වන අදහසක් තමයි අවුරුදු ගාණක් යනකන් ඔහු උගන්වන විෂය කරුණු අමතක වෙන්නෙ නෑ කියන එක. ඔහු ඒ තරම් හොඳට දේශන පවත්වනවා. එය ඉතා රසවත් ආකාරයට, නිර්මාණශීලීව ඉදිරිපත් කිරීම ඔහුගේ ඉගැන්වීම් ක්‍රමය තුළ තිබු විශේෂත්වයක්. එතුමා තුළ තිබු මානවීය ගුණාංග, දර්ශනය, අදහස් සහ යමක් දිහා සාධාරණ විදිහට බලා වැඩ කිරීම මෙන්ම හුඟක් යථාර්ථවාදී විදිහට හිතන හොඳ නිහතමානී ආචාර්යවරයෙක් ලෙස මම දකිනවා. සාමාන්‍යයෙන් වර්තමානයේ අපට එවැනි ආචාර්යවරුන් මුණගැහෙන්නේ නැති තරම්. වෛද්‍ය විද්‍යාව කියන්නේ ඉතා ගැඹුරු විෂය කරුණු අඩංගු සංකීර්ණ විෂය පද්ධතියක්. නමුත් එතුමාගේ ඉගැන්වීමේ රටාව තුළ එම සංකීර්ණ කරුණු ඉතා සරලව හා හොඳින් මතක තබාගත හැකි සරල උපක්‍රම පැවතුණා. සාහිත්‍ය හා කලාත්මක අංග යොදා ගනිමින්, විවිධ රසවත් සිදුවීම් මඟින් හා කවියෙන්, ගීතයෙන් විෂය කරුණු ඉගැන්වීමේ රසවත් කලාවක් ඔහු තුළ පැවතුණා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සඳහන් කරනවා නම් ඔහු කදිම දේශකයෙක්. ඔහුගේ දේශනවලට සම්බන්ධ වෙන්න, ඔහු යටතේ ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගොඩක් කැමැති වුණා.
මම වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස පළමු හා දෙවන වසරවල විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදු කරන කාලයේ බොහෝ කලා කටයුතුවලට අපට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැදිහත් වී විශ්වවිද්‍යාලයට බොහෝ කලාකරුවන් ගෙන්වා විවිධ රසවින්දනාත්මක වැඩසටහන් සංවිධාන කළා. ඒ අතර ගීත රසවිඳින වැඩසටහන්, සාහිත්‍ය හා සෞන්දර්යාත්මක වැඩසටහන් ගොඩක් සංවිධාන කළා. ඒ වගේම තමයි වෛද්‍ය පීඨයෙන් සංවිධාන කළ කුඩා උත්සවවලට පවා මෙරට ප්‍රසිද්ධ කලාකරුවන් සම්බන්ධ වුණා. ඇත්තටම විශ්වවිද්‍යාල ජීවිතයේ මේ තරම් සෞන්දර්යාත්මක ලෙස ගත කරන්න ලැබුණේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා නිසා. අපට ලැබුණු එවැනි අවස්ථා අද ඉන්න අයට ලැබෙනවා ඇත්තටම ගොඩක් අඩුයි. අපි අපේ විශ්වවිද්‍යාල කාලය ගෙව්වේ හරිම සැහැල්ලුවෙන්. අනෙක් විෂය පද්ධතීන්ට වඩා වැඩි වශයෙන් පාඩම් කරලා, ඒකාකාරී ඉලක්කගත අධ්‍යාපනයට යොමු වෙලා ඉන්න වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙවැනි පසුබිමක් යටතේ අධ්‍යාපනය ලැබීමට හැකිවීම මහත් භාග්‍යයක් හා මානසික වශයෙන් විශාල අස්වැසිල්ලක් වුණා.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ඔබ දකින විශේෂතා මොනවාද?
එතුමාගේ මම දැකපු විශේෂම දේ තමයි දක්ෂයාට නියම තැන ලැබෙන්න ඕන කියලා ඒ වෙනුවෙන් ඔහුට කළ හැකි උපරිම දේ සිදු කිරීම. මේ නිසා වෛද්‍ය පීඨයට බඳවා ගත් ආචාර්යවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩලය ඉතා දක්ෂ හා හැකියාවන්ගෙන් පරිපූර්ණ වුණ අය. එතුමා තුළ පැවති එවැනි යහපත් ප්‍රතිපත්ති නිසා සුදුස්සාට සුදුසු තැන ලැබුණා.
ඔහු විශ්‍රාම ගියාට පස්සෙත් වෛද්‍ය පීඨයේ සමඟ දැඩි බැඳීමක් තිබුණා. වෛද්‍ය පීඨය සෑම වසර පහකටම වරක් පවත්වන සංවත්සර උත්සව හැම එකකටම ඔහු සහභාගි වුණා. ඔහු වෛද්‍ය පීඨය සමඟ කොතරම් බැඳීමකින් කටයුතු කළා ද කියන එකට හොඳම උදාහරණය තමයි ඔහු අභාවප්‍රාප්තවීමෙන් පසු ඔහුගේ සිරුර රාගම වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු වෙනුවෙන් තැන්පත් කිරීමට ඔහු කටයුතු සිදු කර තිබීම. රටේ ඉහළ කීර්තියක් දිනා ගෙන සිටි ඔහු රාජ්‍ය ගෞරවයක් සහිතව අවසන් කටයුතු සිදු කළ හැකි පුද්ගලයකු වුව ද එවැනි ගෞරවයක් ඔහු බලාපොරොත්තු නොවීමට තරම් නිහතමානී පුද්ගලයෙක් වුණා.
එතුමා තුළ පැවති සරලකාමී, යහපත් ගතිගුණාංගයන් ඊළඟ පරපුරට ලොකු ආදර්ශයක් විදිහට මම දකිනවා. නායකත්වයේ සැබෑ ස්වරූපය පිළිබඳව ලාංකේය සමාජයට මෙන්ම සමස්ත ලෝකයටම ආදර්ශයක් සැපයූ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගෙන් ගුරුහරුකම් ලැබීම මා විසින් ජීවිතයේ ලද ඉමහත් භාග්‍යයක්. ඔහු අද අප අතර නැතත් ඔහුගෙන් රටට සිදුවූ සේවාව සහ ඔහුගේ මානවීය ගුණාංග ලාංකේය හදවත් තුළ සදානුස්මරණීය වී ඇති බව මගේ විශ්වාසයයි.
සාකච්ඡා කළේ ශෂී ගමගේ
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය