Friday, May 16, 2025
Home » ජනපති රනිල් සටනට එන්නේ ඡන්ද ලක්ෂ 71ක් අතේ තියාගෙන

ජනපති රනිල් සටනට එන්නේ ඡන්ද ලක්ෂ 71ක් අතේ තියාගෙන

මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය

by mahesh
August 23, 2024 1:00 am 0 comment

තිසර සමල් - අනුරාධපුර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණ සටනට පැමිණෙන්නේ පැහැදිලි ඡන්ද ලක්ෂ 71ක් අතැතිව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම සටනේ කොටස්කරුවන් වීමට සියලු දෙනාට ආරාධනා කරන බවයි. කෑගල්ල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂක හමුවකට එක් වෙමිනි.

අමාත්‍යවරයා එහි දී මෙසේ ද පැවැසීය.

මෙවර ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 17,000,000කි. ඉන් මෙරට සාමාන්‍ය ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අනුව 85%ක පමණ පිරිසක් ඡන්ද භාවිත කරනු ඇතැයි උපකල්පනය කළ විට එම ඡන්ද ප්‍රමාණය 13,600,000ක් පමණ ය. ජනාධිපතිවරණය ජය ගැනීමට හෙවත් 51%ක ප්‍රතිශතයක් සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව 6,936,000කි. 2020 මහ මැතිවරණයේ දී පොදු ජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 6,853,690කි. සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද ප්‍රමාණය 2,771,980කි. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 445,958ක් සහ එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 250,000ක් හිමි විය. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 250,000ත්, පොදු ජන පෙරමුණේ ඡන්ද 69 ලක්ෂයත් මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිමි වන බැවින් ඡන්ද ලක්ෂ 71ක පැහැදිලි බලයක් අතැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙයින් පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණය අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙත ඡන්ද ලක්ෂ 10ක් ද ජාතික ජන බලවේගය වෙත ඡන්ද ලක්ෂ 10ක් ද බෙදී ගිය හොත් ඡන්ද ලක්ෂ 51ක් රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිමි වෙයි. පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ 28ක ඡන්ද ප්‍රමාණයක් භාවිත කර නොමැති බැවින් ඉන් ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් මෙවර අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිමි වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැ‍ඟෙනහිර ජනතාවගේ විශ්වාසය දිනා ගත් නායකයකු බවත් එබැවින් එම ඡන්ද ප්‍රමාණයෙන් ද බහුතරයක් ඔහුට හිමි වන බවත් අමාත්‍යවරයා පැවැසීය. මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඊපීඩීපී සංවිධානය ද ජනාධිපතිවරයා සමඟ සිටින බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT