Thursday, May 8, 2025
Home » දිය නෑමට ගිය මව සහ පුතුන් දෙදෙනා දැදුරු ඔයට බිලි

දිය නෑමට ගිය මව සහ පුතුන් දෙදෙනා දැදුරු ඔයට බිලි

by sachintha
August 26, 2024 1:51 am 0 comment

ඉබ්බාගමුව, බෝගමුව, පේරහේනවත්ත ප්‍රදේශය හරහා ගලා බසින දැදුරු ඔයේ ඊයේ (25) පෙරවරුවේ දියනෑමට ගිය එකම පවුලේ මව සහ පුතුන් දෙදෙනකු දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව බෝගමුව පොලිසිය පවසයි.

පේරහේනවත්ත ප්‍රදේශයේ වත්තක මුරකරු වශයෙන් සේවය කළ අයකුගේ බිරිය සහ දරුවන් දෙදෙනා මෙලෙස මරණයට පත්ව සිටින බව කියයි.

මුරකරුගේ බිරිය වන 34 හැවිරිදි දෝන පියුමිකා මධූෂානී සහ පුතුන් දෙදෙනා වන 09 හැවිරිදි පහන් පන්සිළු සම්පත් සහ 05 හැවිරිදි කාලිංග උදාර පියුමාල් සම්පත් යන අය මෙලෙස මරණයට පත්ව සිටිති. මොවුන් අතරින් 09 හැවිරිදි වැඩිමල් දරුවාගේ සිරුර දැදුරු ඔයේ ඉවුරේ තිබෙන පඳුරක සිරවී තිබියදී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇත. අනෙක් දෙදෙනාගේ සිරුරු ඊයේ (25) පස්වරුව වන විටත් සොයාගෙන නොතිබුණි.

මරණයට පත්ව සිටින වැඩිමල් දරුවා විශේෂ අවශ්‍යතා සහිතව ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අතර, අනෙක් දරුවා පෙර පාසලක ඉගෙනුම ලබමින් සිට ඇත.

මිය ගිය තිදෙනා ඔවුන් වෙසෙන වත්ත ආසන්නයේම ගලා බසින දැදුරු ඔයේ සුපුරුදු පරිදි දියනෑමට ඊයේ (25) පෙරවරුවේ ගොස් ඇතත් ඔයේ පවතින අධික ජල පහරට හසුව ඔවුන් දියේ ගිලී ගසාගෙන ගොස් මරණයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය. ඔවුන් දියනෑ ස්ථානය ගැඹුරු බැවින් දියේ ගිලෙන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

මේ දිනවල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බව ද, ඒ හේතුවෙන් දියේ ගසාගෙන හෝ දියේ ගිලීමෙන් අතුරුදන්ව සිටින අනෙක් දෙදෙනාගේ සිරුරු සොයාගැනීම අසීරුවී තිබෙන බව ද පොලිසිය සඳහන් කළේය.

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් සාගරිකා චාන්දනී හේරත් සහ බෝගමුව පොලිස් ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දිකා දැල්කදුර මහත්මීන් එක්ව ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව එක් දරුවකුගේ සිරුර සොයාගැනීමට සමත්ව ඇත.

සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණයට ගිය ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක ඩී. එම්. එස්. කේ. දහනක මහතා පැවැසුවේ ⁣හමු වූ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට යොමු කළ බවයි. අනෙක් සිරුරු සොයාගැනීමට නාවික හමුදාවේ සහාය ලැබීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

කුරුණෑගල අතිරේක පුෂ්පකුමාර ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT