Thursday, May 8, 2025
Home » රට ගැන සිතා ජනපති රනිල්ට ඡන්දය දෙන්න

රට ගැන සිතා ජනපති රනිල්ට ඡන්දය දෙන්න

-රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ

by sachintha
August 26, 2024 1:44 am 0 comment

යුද්ධය අවසන් කළ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට තාමත් යම් ඡන්ද පදනමක් තිබෙන බවත්, මේ මොහොතේ තමන් ඔවුන්ගෙන් ද ඉල්ලා සිටින්නේ රට ගැන සිතා රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දෙන ලෙස බවත් රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ මහනුවර, කොළඹ වීදියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“මා ඇතුළු කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට ගියේ මහින්ද රාජපක්ෂ මහතා දැනුම්වත් කර ඔහුගේ ආශීර්වාදය මතයි. රට ගැන හිතා මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දීමෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවත් තහවුරු වෙනවා. අද මේ රටේ ජනතාව නිදහසේ හුස්මක් ගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නිසයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට අපි අවස්ථාවක් දුන්නා. ඒ මහතාට ඒක හරියට කර ගන්න බැරි වුණා. අරගලය අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතාත් අගමැති ධුරයෙන් ඉවත් වෙලා ගියා. අපේ රජය කෑලි කෑලිවලට කැඩුණා. ඒ වෙලාවේ සජිත්, අනුර වගකීම් කිසිවක් භාර ගත්තේ නෑ. පාර්ලිමේන්තුවේ එක ආසනයක් තියාගෙන හිටපු රනිල් වික්‍රමසිංහ ඒ බැරෑරුම් වගකීම භාරගෙන අද වන විට ආර්ථික අර්බුදයෙන් රට කිසියම් ප්‍රමාණයකට මුදාගෙන තිබෙනවා. හැමදාම එජාපයට විරුද්ධව වැඩ කළ මම අද තේරුම් ගත්තා, මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා.

සජිත්, අනුර දෙන්නම අවුරුදු 25ක් පාර්ලිමේන්තුව නියෝජනය කර තියෙනවා. මේ අවුරුදු 25දී ඒ අය මොනවද රටට කර තියෙන්නේ. පැවති රජයන්වල ඇමැති තනතුරු මේ දෙන්නම දරා තියෙනවා. අද වෙනසක් ගැන කතා කරන්නේ මේ අයයි. තවත් එක වරමක් අපි රනිල්ට දෙන්න ඕනෙ. ණය ගත් රටවල් එක්ක කතා කර ඒ මහතා එකඟතාවට පැමිණි නිසා 2028 වන තෙක් අපි ණය ගෙවන්න ඕන නෑ. ඊට පස්සේ 2043 වෙනකල් අපට කාලය දී තිබෙනවා. ජනපති සිහින දකින අය මේවා වෙනස් කරන්න ගියොත් රට ආයෙත් 2022 වැටුණු තැනට වැටෙනවා. අපි මේ තීරණය ගත්තේ පෞද්ගලික වාසි හෝ පක්ෂ බේරා ගන්න නොව අනාගත පරම්පාරාව බේරාගන්නයි. මම මහින්ද මහතාගේ දකුණු අත වගේ හිටියේ. රනිල් ට සහාය දෙන්න කලින් මම ඒ තීරණය මහින්ද මහතාට කිව්වා. ඒ මහතා ඒක අනුමත කළා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහතාට මොනවා වුණා ද කියලා මම දන්නේ නෑ.

ගෝඨාභය විශ්වාස කර අපි ඔහුට ඓතිහාසික ජයග්‍රහණයක් දුන්නා. කොවිඩිවලදී ඒ මහතා රටවැසියන්ගේ ජීවිත බේරා ගත්තා කියන එක කාටවත් නෑ කියන්න බෑ. නමුත් ඒ මහතා දේශපාලන වශයෙන් පරිණත නෑ. අර්බුදකාරී අවස්ථාවක රටක් ගොඩනඟන්නේ කොහොම ද කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙන්වා තියෙනවා. ඒ නිසා ඒ මහතා ගැන විශ්වාසය තැබිය යුතුයි.”

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT