1970 ට පෙර උපන් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම වාගේ හාල් පොතක් තිබුණේය. එය හැඳින් වූයේ ‘සහල් සලාක’ පොත යනුවෙනි. එය එක්තරා විදිහකින් හැඳුනුම්පතක් වාගේය. වටිනා භාණ්ඩයක් විලස එය උකස් කිරීමටත් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල ඇතැම් අය පුරුදු වී සිටි වග මට මතකය. එය නීති විරෝධීය.
එක් එක් පාටවලින් හාල් පොත් වර්ග හතරක් තිබිණ. ඒවා වර්ග කර තිබුණේ, ළදරුවන්, ළමයින්, සාමාන්‍ය සහ කම්කරුවන් ලෙසය. කිරිපිටි ලැබෙනුයේ ළදරු කාඩ්පතට පමණි. ඇතැම් විට රෙදි පිළි ලබා ගැනීම සඳහා වූ කූපන් කොටසක්ද එයට අන්තර්ගත කොට තිබුණේය. එම භාණ්ඩ හාල් පොතෙන් ඇරෙන්නට වෙන ගන්නට තැනක් නැත. හාල් පොතේ බී කොටස, පදිංචි සහතිකයක් හා සමානය. එයට නිල බලයක් තිබිණ.
සලාක පොත් ක්රමයේ ඉතිහාසය බොහෝ ඈතට විහිදෙයි. එය, දෙවන ලෝක සංග්රාමයෙන් පසු සීමිත සම්පත් සමානව බෙදා දීම සඳහා යොදාගත් ක්රමයකි. ශ්‍රී ලංකාවේ සහල් සලාක ක්‍රමය 1977 බලයට පත් රජය විසින් අහෝසි කරන ලදී. නමුත් 1982 ජනාධිපතිවරණයේදී නැවත හාල් පොත කරළියට ආවේය.
හෙක්ටර් කොබ්බෑකඩුව මහතා බලයට පත් වුවහොත් ජනතාවගෙන් උදුරා ගන්නා ලද හාල් පොත නැවත දෙන බවට මැතිවරණ ප්‍රචාරයක් දියත් කෙරිණි. හාල් පොතේ අනුරුවට සමාන පත්රිකාවක්ද බෙදා හැරිණ. එය කෙළවර වූයේ කිහිපදෙනෙක් නීතිය ඉදිරියට පැමිණවීමෙන් පසුවය.
1970 දී සමග පෙරමුණු රජය බලයට පත්වූයේ වාමාංශික දර්ශනයක් පෙරටුකොට ගෙනය. ඒ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රබල වාමාංශික නායකයින් වූ ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද. සිල්වා සහ පීටර් කෙනමන් එම රජයේ ප්‍රබල අමාත්‍යවරුය. නමුත් 1971 ඇති වූ කැරැල්ල එම රජයේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට බාධාවක් වූයේය. රජයේ පස් අවුරුදු සැලැස්ම ක්‍රියාවට නැං වුණේ 1972 දීය. එහෙත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය, දේශීය වශයෙන් ආහාර නිෂ්පාදනය පසුබෑම රට තුළ මහත් දුෂ්කරතාවක් ඇතිකර තිබුණේය.
සමස්ත සහල් පරිභෝජනයෙන් සියයට 60ක් පමණ ලැබුණේ ආනයන වශයෙනි. මේ නිසා සමුපකාර ක්‍රමය හැරුණු විට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වෙනත් ක්‍රමයක් නොවීය.
හාල් පොත පිළිබඳ මගේ මතකය යාවෙන්නේ ඉතාමත්ම කුඩා කාලයටය. අපේ ගෙදර තිබූ හාල් පොත් කිහිපයත් රැගෙන මා, අම්මා සමග සමුපකාරයට ගොස් තිබේ. ඒ කාලයේ තිබුණු සමුපකාර වෙළෙඳසල් වර්තමානයේ සාමාන්‍ය සුපිරි වෙළෙඳසලක ප්‍රමාණයෙන් කාලකටත් වඩා පොඩිය. හැම විටම ඒවායේ දිග පෝලිම් තිබුණේය. එම පෝලිම්වල රණ්ඩු සරුවල් තිබුණේ නැත. බක්කිවල දමා තිබූ සහල්, කරවල ආදී භාණ්ඩ පිළිබඳ ඡායාමාත්‍ර මතකයක් තවමත් මගේ මනසේ තිබේ. සමුපකාරය යන්න සිහිවන විටම මතක් වන්නේ මැස්සන්ය.
එක කවුන්ටරයකින් අපේ සහල් පොත්වල අදාළ කූපන් කැබැල්ල කපා ගනියි. අනතුරුව බිල් පත ලියනු ලබයි. බිල ලබා දුන් විට අනෙක් කවුන්ටරයෙන් අපේ නිවසට හිමි සහල් සලාකය ලැබෙයි.
මට මතක කාලයේ එක් අයෙකුට සතියකට නොමිලේ හාල් සේරුවක් බැගින් ලැබිණ. ඒ 1965 සිට 1970 දක්වා පැවැති ඩඩ්ලි සේනානායක රජයෙනි. ඊට පෙර පැවති රජය විසින් සහල් සලාකයට ලබා දී තිබුණේ සත විසිපහ බැගින් වූ හාල් සේරු දෙකකි. 65-70 රජය එක හාල්සේරුවක් නොමිලේ දුන් නිසා ඩඩ්ලි සේනානායක මහතා හඳුන්වනු ලැබුවේ, ‘බත් දුන් පියා’ කියාය.
සලාක ක්‍රමය යන්නට ශ්‍රී ලංකාවේ දිගු ඉතිහාසයක් තිබේ. රජයක මෙහෙය වීමෙන් සලාක ක්‍රමයක් ඇති වන්නේ අනිවාර්යයෙන්ම හිඟයක් ඇති අවස්ථාවලදීය. පන්සලට දානය හිඟ වූ විට ගම්වැසියන් එකතු වී සලාක ක්‍රමයක් ගොඩනඟා ගනී. එය පැරැණි දුර්භික්ෂ කාලවල සිට පැවත එන සිරිතකි. මෙය හැඳින් වූයේ සලාක දානය හෙවත් පේරු දානය ලෙසය. මේ වන විට එය ගමේ පන්සල ආශ්රිත සිරිතක් බවට පත් වී තිබේ.
සලාක ක්‍රමය විධිමත් ලෙස ව්‍යාප්ත වී තිබෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බවට ඉතිහාසය සාක්ෂි දරයි. බ්‍රිතාන්‍ය දූපත්වල පරිපාලනයේදී පිරිමි ගැහැනු සහ ළමුන් වශයෙන් වෙන වෙනම දීමනා නියම වී තිබේ. ඇමෙරිකාව යුද සමයේදී සලාක කාඩ් පතක් හඳුන්වා දී තිබේ. මෙය ද සැකසී තිබුණේ ඉවත් කර ගතහැකි මුද්දරයක් වැනි කොටසකිනි. එම කාඩ් පතට ටින් කළ ආහාර, මස් වර්ග, ආහාර පිසීමට ගන්නා තෙල් ලබා දී තිබේ. සීතල යුද්ධය හේතුවෙන් සූවස් ඇළේ ප්රශ්නය මතුවන විට, 1956-57 කාලයේ මහා බ්‍රිතාන්‍යයේ මෝටර් රථ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සහල් මිල පිළිබඳව වඩාත් සංවේදී වූ දේශපාලනඥයා ඩඩ්ලි සේනානායක මහතාය. ඔහුගේ රජයේ මුදල් අමාත්‍යවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා හැමවිටම ජාත්‍යන්තර තත්ත්වය සහ දේශීය ආර්ථිකය පිළිබඳව දැඩි කනස්සල්ලකින් පසුවය. ඒ නිසා සහල් මිල වැඩි කිරීම සඳහා නිරන්තර යෝජනා ඉදිරිපත් විය. සහල් මිල වැඩි කිරීමට සිදු වීම සම්බන්ධයෙන් විරෝධය පා එවක ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය දැරූ මෛත්‍රීපාල සේනානායක මහතා ඉල්ලා අස් වූයේ 1952 දීය. 1953 දී සේරුවක් සත 70ක් දක්වා මිල වැඩි විය. ඒ වන විට හාල් පොතට සත 25 බැගින් හාල් සේරු දෙකක් ලබාදෙමින් තිබිණ. 1953 දී හාල් පොත ඉදිරිපත් කළහොත් සත 70කට සේරු එකහමාරක් ලැබේ.
මෑත ඉතිහාසයේ කැපී පෙනෙන අරගලයක් ලෙස 1953 ඇතිවූ හර්තාලය හැඳින්විය හැකිය. හර්තාලයට සහයෝගයක් වශයෙන් දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවල කාන්තාවෝ, සහල් නැතැයි කියමින් මහමඟට බැස රොටි පිච්චූහ. එම හාර්තාලයේ දී පොලිස් සහ හමුදා වෙඩි පහරින් පුද්ගලයෝ 12 දෙනෙක් මිය ගියහ. ප්‍රතිඵලය වූයේ අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා ඉල්ලා අස්වී ජෝන් කොතලාවල මහතා අගමැති ධුරයට පත්වීමයි.
හාල්මිල සත 55 දක්වා අඩු විය. 1965දී යළි බලයට පත්වූ ඩඩ්ලි සේනානායක මහතාට නොමිලේ හාල් සේරුවක් ලබාදීමට මග පෑදුවේ මේ ඉතිහාසයයි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවවාදවලට පිටුපෑමකි. විකල්පයක් වශයෙන් සහලෙන් රට ස්වයංපෝෂණය කිරීමේ ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් විය. “අල්ලක් වපුරා මල්ලක් ගෙට ගමු” වැනි ප්රචාරක පාඨ ගුවන් විදුලියේ නිතර ඇසිණ. ඒ වෙනුවෙන් නිර්මාණය කෙරුණු ගීතද නිතර ප්‍රචාරය විය. නමුත් එය ප්‍රචාරයකට පමණක් සීමා වී තිබේ.
රසායනික පොහොර හෝ වෙනත් නව කෘෂිකාර්මික උපක්‍රම පිළිබඳ දැනුමක් රට තුළ තිබුණේ නැත. ගොයමට යෙදුවේ සාම්ප්‍රදායික “ගෙරිකටු” පොහොරයි. සහලින් රට ස්වයංපෝෂණය වූයේ නැත.
වර්ෂ 1975 දී සේනානායක රජය පෙරළිණ. සමගි පෙරමුණු රජය බලයට පත්වුවද, ආර්ථික අර්බුදය එසේම පැවැතිණ. සහල් පිළිබඳ පොරොන්දුව ඉටුකරන්නට එම රජයද අපොහොසත් විය. එම රජයේ පොරොන්දුව වී තිබුණේ තමන් බලයට පත්වුවහොත් හාල් සේරු දෙකක් නොමිලේ දෙන බවය. සාමාන්‍ය ජනතාවට හාල් පිළිබඳ ප්රශ්නය බැරෑරුම් වුවත් තමන්ගේම කුඹුරු තිබූ ග්‍රාමීය ජනතාවට හාල් කවදාවත් ප්‍රශ්නයක් වුණේ නැත.
නමුත් පෞද්ගලිකව හාල් ප්‍රවාහනය සීමා කර තිබිණ. එය හැඳින් වූයේ හාල්පොලු කියාය. ඒ කාලේ හාල් මදිවාට මිරිස් පොලුද තිබිණ. අතරමගදී දිග පොල්ලක් හරස්කර පොදු ප්රවාහනවල ගමන් කරමින් සිටි ජනතාවගේ ගමන් මලු පරික්ෂා කිරීමට නිලධාරීන් යොදවා තිබිණ.
77 බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ එක්සත් ජාතික පක්ෂ රජය හාල් පොත අහෝසි කළේය. භාණ්ඩ සුලභ වූ කල සලාක ක්‍රමය අවශ්‍ය නොවේ යැයි ජනමතයක් ද නිර්මාණය කෙරිණ. ආර්ථිකය විවෘත වීම නිසා සහල් සුලභ විය. විවිධ වර්ගවල සහල් ඕනෑම වෙළෙඳසලකින් මිලදී ගැනීමේ හැකියාව ජනතාවට ලැබිණ. මේ නිසා මධ්‍යම පාන්තික ජනතාවට හාල් පොතක අවශ්‍යතාව ඇතැම් විට අමතක වී යන්නට ඇත.
හාල් පොත යළි කරළියට ආවේ, 1982 ජනාධිපතිවරණ සමයේය. විපක්ෂ මැතිවරණ ප්රචාරක කටයුතුවලදී හාල් පොතක ආකෘතියක් ජනතාව අතර බෙදා හැරිණ. ‘අපි බලයට පත්වුණොත් හාල් පොත ආපසු දෙනවා’ යන්න ඔවුනගේ සටන් පාඨයයි. එම පත්‍රිකාවේ පැහැදිලිවම එය ‘සත්‍ය එකක්’ නොවන බව සඳහන්ව තිබිණ. නමුත් ව්‍යාජ සහල් පොතක් බෙදා හැරීම මඟින් ජනතාව නොමඟ හැරියේ යැයි චෝදනාවක් විපක්ෂයට එල්ල විය. ඡන්ද ප්රචාරක උපක්‍රමයක් ලෙස බෙදා තිබූ එම පත්‍රිකාව රජය බලයට පත්වුවහොත් වලංගු වන බවට ජනමතයක් ද පැතිර ගොස් තිබුණේය.
එම චෝදනාව කෙතරම් බලවත් වූයේද යත් එයට මුල්වූ බවට සැක කළ ශ්‍රී ලංකාවේ සුපිරි නළු විජය කුමාරතුංග සහ ඔසී අබේගුණසේකර ඇතුළු කිහිපදෙනෙක් නැක්සලයිට් චෝදනා මත නීතිය හමුවට පමුණුවනු ලැබිණ.
මේ හාල් පොත නිසා, කිසිදු ආලෝකයක් නොලැබෙන අඳුරු කුටියක ඔවුනට මාස ගණනක් ගත කරන්නට සිදු වූ බව අද වන විට පුරාවෘත්තයකි.