Home » විජය දඟ ගෙට යැවූ හාල් පොතේ කතාව
‘82 ජනපතිවරණයෙන්

විජය දඟ ගෙට යැවූ හාල් පොතේ කතාව

by Gayan Abeykoon
August 29, 2024 1:08 am 0 comment

චන්දන තිල­ක­රත්න

1970 ට පෙර උපන් ශ්‍රී ලංකාවේ සෑම පුර­වැ­සි­යෙ­කු­ටම වාගේ හාල් පොතක් තිබු­ණේය. එය හැඳින් වූයේ ‘සහල් සලාක’ පොත යනු­වෙනි.  එය එක්තරා විදි­හ­කින් හැඳු­නු­ම්ප­තක් වාගේය. වටිනා භාණ්ඩ­යක් විලස එය උකස් කිරී­ම­ටත් නාග­රික සහ අර්ධ නාග­රික ප්‍රදේ­ශ­වල ඇතැම් අය පුරුදු වී සිටි වග මට මත­කය. එය නීති විරෝ­ධීය.

 

එක් එක් පාට­ව­ලින් හාල් පොත් වර්ග හත­රක් තිබිණ. ඒවා වර්ග කර තිබුණේ,  ළද­රු­වන්, ළම­යින්, සාමාන්‍ය සහ කම්ක­රු­වන් ලෙසය. කිරි­පිටි ලැබෙ­නුයේ ළදරු කාඩ්ප­තට පමණි. ඇතැම් විට රෙදි පිළි ලබා ගැනීම සඳහා වූ කූපන් කොට­සක්ද එයට අන්ත­ර්ගත කොට තිබු­ණේය. එම භාණ්ඩ හාල් පොතෙන් ඇරෙ­න්නට වෙන ගන්නට තැනක් නැත. හාල් පොතේ බී කොටස, පදිංචි සහ­ති­ක­යක් හා සමා­නය. එයට නිල බල­යක් තිබිණ.

සලාක  පොත් ක්‍රමයේ ඉති­හා­සය බොහෝ ඈතට විහි­දෙයි. එය, දෙවන ලෝක සංග්‍රා­ම­යෙන් පසු සීමිත සම්පත් සමා­නව බෙදා දීම සඳහා යොදා­ගත් ක්‍රම­යකි. ශ්‍රී ලංකාවේ සහල් සලාක ක්‍රමය 1977 බල­යට පත් රජය විසින් අහෝසි කරන ලදී.  නමුත් 1982 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී නැවත හාල් පොත කර­ළි­යට ආවේය.

හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව මහතා බල­යට පත් වුව­හොත් ජන­තා­ව­ගෙන් උදුරා ගන්නා ලද හාල් පොත නැවත දෙන බවට මැති­ව­රණ ප්‍රචා­ර­යක් දියත් කෙරිණි. හාල් පොතේ අනු­රු­වට සමාන පත්‍රි­කා­වක්ද බෙදා හැරිණ.  එය කෙළ­වර වූයේ කිහි­ප­දෙ­නෙක් නීතිය ඉදි­රි­යට පැමි­ණ­වී­මෙන් පසු­වය.

1970 දී සමග පෙර­මුණු රජය බල­යට පත්වූයේ වාමාං­ශික දර්ශ­න­යක් පෙර­ටු­කොට ගෙනය. ඒ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රබල වාමාං­ශික නාය­ක­යින් වූ ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද. සිල්වා සහ පීටර් කෙන­මන් එම රජයේ ප්‍රබල අමා­ත්‍ය­ව­රුය. නමුත් 1971 ඇති වූ කැරැල්ල එම රජයේ සැල­සුම් ක්‍රියා­ත්මක කිරී­මට බාධා­වක් වූයේය.  රජයේ  පස් අවු­රුදු සැලැස්ම ක්‍රියා­වට නැං වුණේ 1972 දීය. එහෙත් අත්‍ය­වශ්‍ය භාණ්ඩ හිඟය, දේශීය වශ­යෙන් ආහාර නිෂ්පා­ද­නය පසු­බෑම රට තුළ මහත් දුෂ්ක­ර­තා­වක් ඇති­කර තිබු­ණේය.

සමස්ත සහල් පරි­භෝ­ජ­න­යෙන් සිය­යට 60ක් පමණ ලැබුණේ ආන­යන වශ­යෙනි. මේ නිසා සමු­ප­කාර ක්‍රමය හැරුණු විට අත්‍ය­වශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වෙනත් ක්‍රම­යක් නොවීය.

හාල් පොත පිළි­බඳ මගේ මත­කය යාවෙන්නේ ඉතා­මත්ම කුඩා කාල­ය­ටය. අපේ ගෙදර තිබූ හාල් පොත් කිහි­ප­යත් රැගෙන මා, අම්මා සමග සමු­ප­කා­ර­යට ගොස් තිබේ. ඒ කාලයේ තිබුණු සමු­ප­කාර වෙළෙ­ඳ­සල් වර්ත­මා­නයේ සාමාන්‍ය සුපිරි වෙළෙ­ඳ­ස­ලක  ප්‍රමා­ණ­යෙන් කාල­ක­ටත් වඩා පොඩිය. හැම විටම ඒවායේ දිග පෝලිම්  තිබු­ණේය. එම පෝලි­ම්වල රණ්ඩු සරු­වල් තිබුණේ නැත. බක්කි­වල දමා තිබූ සහල්, කර­වල ආදී භාණ්ඩ පිළි­බඳ ඡායා­මාත්‍ර මත­ක­යක්  තව­මත් මගේ මනසේ තිබේ. සමු­ප­කා­රය යන්න සිහි­වන විටම මතක් වන්නේ මැස්සන්ය.

එක කවු­න්ට­ර­ය­කින් අපේ සහල් පොත්වල අදාළ කූපන් කැබැල්ල කපා ගනියි. අන­තු­රුව බිල් පත ලියනු ලබයි. බිල ලබා දුන් විට අනෙක් කවු­න්ට­ර­යෙන් අපේ නිව­සට හිමි සහල් සලා­කය ලැබෙයි.

මට මතක කාලයේ එක් අයෙ­කුට සති­ය­කට නොමිලේ හාල් සේරු­වක් බැගින් ලැබිණ. ඒ 1965 සිට 1970 දක්වා පැවැති ඩඩ්ලි සේනා­නා­යක රජ­යෙනි. ඊට පෙර පැවති රජය විසින් සහල් සලා­ක­යට ලබා දී තිබුණේ සත විසි­පහ බැගින් වූ හාල් සේරු දෙකකි. 65-70 රජය එක හාල්සේ­රු­වක් නොමිලේ දුන් නිසා ඩඩ්ලි සේනා­නා­යක මහතා හඳු­න්වනු ලැබුවේ, ‘බත් දුන් පියා’ කියාය.

සලාක ක්‍රමය යන්නට ශ්‍රී ලංකාවේ දිගු ඉති­හා­ස­යක් තිබේ. රජ­යක මෙහෙය වීමෙන් සලාක ක්‍රම­යක් ඇති වන්නේ අනි­වා­ර්ය­යෙන්ම හිඟ­යක් ඇති අව­ස්ථා­ව­ල­දීය. පන්ස­ලට දානය හිඟ වූ විට ගම්වැ­සි­යන් එකතු වී සලාක ක්‍රම­යක් ගොඩ­නඟා ගනී. එය පැරැණි දුර්භික්ෂ කාල­වල සිට පැවත එන සිරි­තකි. මෙය හැඳින් වූයේ සලාක දානය හෙවත් පේරු දානය ලෙසය. මේ වන විට එය ගමේ පන්සල ආශ්‍රිත සිරි­තක් බවට පත් වී තිබේ.

සලාක ක්‍රමය විධි­මත් ලෙස ව්‍යාප්ත වී තිබෙන්නේ දෙවන ලෝක යුද්ධ­යෙන් පසුව බවට ඉති­හා­සය සාක්ෂි දරයි. බ්‍රිතාන්‍ය දූප­ත්වල පරි­පා­ල­න­යේදී පිරිමි ගැහැනු සහ ළමුන් වශ­යෙන් වෙන වෙනම දීමනා නියම වී තිබේ. ඇමෙ­රි­කාව යුද සම­යේදී සලාක කාඩ් පතක් හඳුන්වා දී තිබේ. මෙය ද සැකසී තිබුණේ ඉවත් කර ගත­හැකි මුද්ද­ර­යක් වැනි කොට­ස­කිනි. එම කාඩ් පතට  ටින් කළ ආහාර, මස් වර්ග, ආහාර පිසී­මට ගන්නා තෙල්  ලබා දී තිබේ. සීතල යුද්ධය හේතු­වෙන් සූවස් ඇළේ  ප්‍රශ්නය මතු­වන විට, 1956-57  කාලයේ මහා බ්‍රිතා­න්‍යයේ මෝටර් රථ ඉන්ධන සඳහා සලාක ක්‍රම­යක් හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ දේශ­පා­ල­නය තුළ සහල් මිල පිළි­බ­ඳව වඩාත් සංවේදී වූ  දේශ­පා­ල­න­ඥයා ඩඩ්ලි සේනා­නා­යක මහ­තාය. ඔහුගේ රජයේ මුදල් අමා­ත්‍ය­ව­රයා වූ ජේ. ආර්. ජය­ව­ර්ධන මහතා හැම­වි­ටම ජාත්‍ය­න්තර තත්ත්වය සහ දේශීය ආර්ථි­කය පිළි­බ­ඳව දැඩි කන­ස්ස­ල්ල­කින් පසු­වය. ඒ නිසා සහල් මිල වැඩි කිරීම සඳහා නිර­න්තර යෝජනා ඉදි­රි­පත් විය. සහල් මිල වැඩි කිරී­මට සිදු වීම සම්බ­න්ධ­යෙන් විරෝ­ධය පා  එවක ස්වදේශ කට­යුතු අමාත්‍ය ධුරය දැරූ මෛත්‍රී­පාල සේනා­නා­යක මහතා ඉල්ලා අස් වූයේ 1952 දීය. 1953 දී සේරු­වක් සත 70ක් දක්වා මිල වැඩි විය. ඒ වන විට හාල් පොතට සත 25 බැගින් හාල් සේරු දෙකක් ලබා­දෙ­මින් තිබිණ. 1953 දී හාල් පොත ඉදි­රි­පත් කළ­හොත් සත 70කට සේරු එක­හ­මා­රක් ලැබේ.

මෑත ඉති­හා­සයේ කැපී පෙනෙන අර­ග­ල­යක් ලෙස 1953 ඇතිවූ හර්තා­ලය හැඳි­න්විය හැකිය. හර්තා­ල­යට සහ­යෝ­ග­යක් වශ­යෙන් දකුණු පළාතේ ඇතැම් ප්‍රදේ­ශ­වල කාන්තාවෝ, සහල් නැතැයි කිය­මින් මහ­ම­ඟට බැස  රොටි පිච්චූහ. එම හාර්තා­ලයේ දී පොලිස් සහ හමුදා වෙඩි පහ­රින් පුද්ග­ලයෝ 12 දෙනෙක් මිය ගියහ. ප්‍රති­ඵ­ලය වූයේ අග්‍රා­මාත්‍ය ඩඩ්ලි සේනා­නා­යක මහතා ඉල්ලා අස්වී ජෝන් කොත­ලා­වල මහතා අග­මැති ධුර­යට පත්වී­මයි.

හාල්මිල සත 55 දක්වා අඩු විය. 1965දී යළි බල­යට පත්වූ ඩඩ්ලි සේනා­නා­යක මහ­තාට නොමිලේ හාල් සේරු­වක් ලබා­දී­මට මග පෑදුවේ මේ ඉති­හා­ස­යයි. එය  ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ අව­වා­ද­ව­ලට පිටු­පෑ­මකි. වික­ල්ප­යක් වශ­යෙන්  සහ­ලෙන් රට ස්වයං­පෝ­ෂ­ණය කිරීමේ ක්‍රියා­මාර්ග  ප්‍රකා­ශ­යට පත් විය. “අල්ලක් වපුරා මල්ලක් ගෙට ගමු” වැනි ප්‍රචා­රක පාඨ ගුවන් විදු­ලියේ නිතර ඇසිණ. ඒ වෙනු­වෙන් නිර්මා­ණය කෙරුණු ගීතද නිතර ප්‍රචා­රය විය. නමුත් එය ප්‍රචා­ර­ය­කට පම­ණක් සීමා වී තිබේ.

රසා­ය­නික පොහොර හෝ වෙනත් නව කෘෂි­කා­ර්මික උප­ක්‍රම පිළි­බඳ දැනු­මක් රට තුළ තිබුණේ නැත.  ගොය­මට යෙදුවේ සාම්ප්‍ර­දා­යික  “ගෙරි­කටු” පොහො­රයි. සහ­ලින් රට ස්වයං­පෝ­ෂ­ණය වූයේ නැත.

වර්ෂ 1975 දී සේනා­නා­යක රජය පෙර­ළිණ. සමගි පෙර­මුණු රජය බල­යට පත්වු­වද, ආර්ථික අර්බු­දය එසේම පැවැ­තිණ. සහල් පිළි­බඳ පොරො­න්දුව ඉටු­ක­ර­න්නට එම රජ­යද අපො­හො­සත් විය. එම රජයේ පොරො­න්දුව වී තිබුණේ තමන් බල­යට පත්වු­ව­හොත් හාල් සේරු දෙකක් නොමිලේ දෙන බවය.  සාමාන්‍ය ජන­තා­වට හාල් පිළි­බඳ ප්‍රශ්නය බැරෑ­රුම් වුවත් තම­න්ගේම කුඹුරු තිබූ ග්‍රාමීය ජන­තා­වට හාල්  කව­දා­වත් ප්‍රශ්න­යක් වුණේ නැත.

නමුත්  පෞද්ග­ලි­කව හාල් ප්‍රවා­හ­නය සීමා කර තිබිණ. එය හැඳින් වූයේ හාල්පොලු කියාය. ඒ කාලේ හාල් මදි­වාට මිරිස් පොලුද තිබිණ. අත­ර­ම­ගදී දිග පොල්ලක් හර­ස්කර පොදු ප්‍රවා­හ­න­වල ගමන් කර­මින් සිටි ජන­තා­වගේ ගමන් මලු පරික්ෂා කිරී­මට නිල­ධා­රීන් යොදවා තිබිණ.

77 බල­යට පත්වූ ජේ. ආර්. ජය­ව­ර්ධන මහ­තාගේ එක්සත් ජාතික පක්ෂ රජය හාල් පොත අහෝසි කළේය. භාණ්ඩ සුලභ වූ කල සලාක ක්‍රමය අවශ්‍ය නොවේ යැයි ජන­ම­ත­යක් ද නිර්මා­ණය කෙරිණ. ආර්ථි­කය විවෘත වීම නිසා සහල් සුලභ විය. විවිධ වර්ග­වල සහල් ඕනෑම වෙළෙ­ඳ­ස­ල­කින් මිලදී ගැනීමේ හැකි­යාව ජන­තා­වට ලැබිණ. මේ නිසා මධ්‍යම පාන්තික ජන­තා­වට හාල් පොතක අව­ශ්‍ය­තාව ඇතැම් විට අම­තක වී යන්නට ඇත.

හාල් පොත යළි කර­ළි­යට ආවේ, 1982 ජනා­ධි­ප­ති­ව­රණ සම­යේය. විපක්ෂ මැති­ව­රණ ප්‍රචා­රක කට­යු­තු­ව­ලදී හාල් පොතක ආකෘ­ති­යක් ජන­තාව අතර බෙදා හැරිණ.  ‘අපි බල­යට පත්වු­ණොත් හාල් පොත ආපසු දෙනවා’ යන්න ඔවු­නගේ සටන් පාඨ­යයි. එම පත්‍රි­කාවේ පැහැ­දි­ලි­වම එය ‘සත්‍ය එකක්’ නොවන බව සඳ­හන්ව තිබිණ. නමුත් ව්‍යාජ සහල් පොතක් බෙදා හැරීම මඟින් ජන­තාව නොමඟ හැරියේ යැයි චෝද­නා­වක් විප­ක්ෂ­යට එල්ල විය. ඡන්ද ප්‍රචා­රක උප­ක්‍ර­ම­යක් ලෙස බෙදා තිබූ එම පත්‍රි­කාව රජය බල­යට පත්වු­ව­හොත් වලංගු වන බවට ජන­ම­ත­යක් ද පැතිර ගොස් තිබු­ණේය.

එම චෝද­නාව කෙත­රම් බල­වත් වූයේද යත් එයට මුල්වූ බවට සැක කළ  ශ්‍රී ලංකාවේ සුපිරි නළු විජය කුමා­ර­තුංග සහ ඔසී අබේ­ගු­ණ­සේ­කර ඇතුළු කිහි­ප­දෙ­නෙක්  නැක්ස­ල­යිට් චෝදනා මත නීතිය හමු­වට පමු­ණු­වනු ලැබිණ.

මේ හාල් පොත නිසා, කිසිදු ආලෝ­ක­යක් නොලැ­බෙන අඳුරු කුටි­යක ඔවු­නට මාස ගණ­නක් ගත කර­න්නට සිදු වූ බව අද වන විට පුරා­වෘ­ත්ත­යකි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT