Home » මහ­ජන ඡන්ද­යෙන් ගම් සභාවට පත් වූ පළමුවැනි හාමු­දු­රුවෝ වැල්ලේ­තොට පඤ්ඤා­දස්සි හිමි

මහ­ජන ඡන්ද­යෙන් ගම් සභාවට පත් වූ පළමුවැනි හාමු­දු­රුවෝ වැල්ලේ­තොට පඤ්ඤා­දස්සි හිමි

by Gayan Abeykoon
August 29, 2024 1:08 am 0 comment

නන්දික බැද්දේ­ගම

“දුප්පත් අස­රණ මිනි­ස්‌සුන්ගෙ ගෙවල් සිය ගණ­න­ක්‌ ­බේරා ගන්න මේ අත් දෙකේ කර­ගැට එන­තු­රුම මම වේල්ල කැපුවා. මම කළේ වර­ද­ක්‌ ­නම් මාව යවන්න හිර­ගෙට අවු­රුදු ගණ­නා­ව­කට. මම සද්භා­ව­යෙන් යහ­පත් දෙය­ක්‌ ­කළා කියල ඔබ­තු­මාට හිතෙ­නවා නම් මට පන්ස­ලට වඩින්න ඉඩ දෙන්න.’

ශ්‍රී ලංකාවේ ක්‍රියා­කාරී දේශ­පා­ල­න­යට පිවිස පළමු වතා­වට මහ­ජන නියෝ­ජි­ත­යකු ලෙස තේරී පත්වූ පළමු භික්ෂූන් වහන්සේ ලෙස සැල­කෙන්නේ වැල්ලේ­තොට පඤ්ඤා­දස්සි හිමිය. උන්ව­හන්සේ පළමු වරට මහ­ජන ඡන්ද­ය­කට ඉදි­රි­පත් වන්නේ 1959 පැවති ගම් සභා මැති­ව­ර­ණ­ය­ටය. මාතර තිහ­ගොඩ (මොලො­ද්දූව) ගම් කාරක සභා­වට කොමි­යු­නිස්ට් පක්ෂය නියෝ­ජ­නය කර­මින් තරග වැදුණු උන්ව­හන්සේ එම ගමේ ඡන්ද­යෙන් පරා­ජ­යට පත් විය.

ඒ ජන­තාව උන්ව­හන්සේ කෙරෙහි තිබූ අප්‍ර­සා­ද­යක් නිසා නොව භික්ෂු­ව­කට ඡන්දය දීමට ජන­තාව පෙරට නොපැ­මි­ණීම නිසාය. ඉන් පසුව පැවති ගම්සභා ඡන්ද­යට 1964 තිහ­ගොඩ ගම්ස­භා­වට තරග කොට තිහ­ගොඩ ගම් සභාවේ සභා­පති හාමු­දු­රුවෝ ලෙස පත් වූහ. උන්ව­හන්සේ දීර්ඝ කාල­යක් එම තන­තුරේ වැඩ කට­යුතු කළහ. භික්ෂූන් වහන්සේ නමක් දේශ­පා­ලන සභික ධුර­ය­කට මුලින්ම පත්වීමේ වාර්තාව උන්ව­හන්සේ සතුව පවතී.

1964 ජන­වාරි මස 27 දින තිහ­ගොඩ ගම් කාර්ය සභා මැති­ව­ර­ණ­යට කිත­ල­ගම බට­හිර හා අංගුන්න බදුල්ල ගම් සභා ආසන දෙක­ටම ඉදි­රි­පත් වූ උන්ව­හන්සේ නිත­ර­ග­යෙන් එම ආසන දෙකට පත් විය. එයද වාර්තා­වකි. භික්ෂූන් වහන්සේ නමක් ගම් සභා ආසන දෙක­කට එක­වර ඉදි­රි­පත් වී නිත­ර­ග­යෙන් පත් වීම සුවි­ශේෂී සිද්ධි­යකි. පුරා සත් වස­රක් එම කොට්ඨාස දෙකෙහි මන්ත්‍රී සභික ධුරය දැරී­මට උන්ව­හ­න්සේට අව­ස්ථාව ලැබිණි.

1944 වස­රදී පැළෑනේ සිරි වජි­ර­ඥාන හිමි වෙතින් උප­ස­ම්ප­දාව ලැබූ උන්ව­හන්සේ ශ්‍රී ධර්ම­ර­ක්ඛිත අම­ර­පුර නිකායේ කාරක සංඝ සභික ධුර­යක් ද දැරු­වේය.

1914 මැයි මස 05 දින උපත ලැබූ උන්ව­හ­න්සේගේ ගිහි නම වූයේ පිල­දූව මහ බෝග­හ­ව­ත්තගේ සිය­දෝ­රිස්ය. මවු­පි­යන් වූයේ මාතර වැල්ලේ­තොට පිල­දූව බෝග­හ­ව­ත්තගේ බයිස් අප්පු­හාමි හා හේවා කස­කාර කංකා­නම්ගේ මංචෝ හාමි දෙප­ළය.

බාල වියේදී සිය­දෝ­රිස් දරුවා හරිම අකී­ක­රුය. මෙල්ල කළ නොහැකි විවිධ දඟ­කා­ර­කම් කරන්ට විය. තාත්තාට දිනක් දඟ­කා­ර­කම ඉව­සිය නොහැකි තැන කේන්ති ගොස් සිය පුතා අල්ලා­ගෙන ගොස් අත් පා ගැට ගසා නිල්වලා ගඟට විසි­කර දැමු­වේය. පුතා ගඟට දැමූව ද තාත්තාට මෙය ඉව­සිය නොහැකි විය. ඔහු ගෙල­වැ­ල­ලා­ගෙන මිය­යා­මට ලෑස්ති විය. දරුවා අත්පා ගැට­ගසා ගඟට දැමූව ද බැමි ලිහා­ගෙන ගොඩට පීනා­ගෙන ආවේය. ගෙදර මහ කල­බ­ල­යක් සිදු­වන බව නිව­සට පැමිණි ඔහුට දැක­ග­න්නට ලැබිණි. ඔහු පියාගේ දෙපා වැඳ තවත් දඟ­කා­ර­කම් නොක­රන බවට පොරොන්දු වී පියා මර­ණින් මුදා ගත්තේය. ඔහු යහ­පත් ළම­යකු බවට පත් විය. ඔහුට මහ­ණ­ව­න්නට සිතක් පහළ විය. මාපි­යන් දරුවා මාතර වේර­දූව ක්ෂේත්‍රා­රා­මා­ධි­පති කිත­ල­ගම පඤ්ඤා­නන්ද හිමිට භාර කළේය. ඔහු වැල්ලේ­තොට පඤ්ඤා­දස්සි නමින් 1933 මැයි මස 08 දින පැවිදි දිවි­යට ඇතු­ළත් විය.

උන් වහන්සේ ප්‍රදේ­ශයේ නොදි­යුණු ගම්මා­න­ව­ලට පාර­වල් තැනූහ. වැල්ලේ­තොට දක්වා මාර්ග­යට බස්‌ ­ර­ථ­යක් ලබා ගත්හ. වැල්ලේ­තොට පාලම, දළු­ගොඩ ඇළ පාලම, අල­ව­ත්තා­ගොඩ පාලම, කිත­ල­ගම බට­හිර තැපැල් කාර්යා­ලය ඉදි­කර වූහ. කිත­ල­ගම යාන්ත්‍රික වඩු පාසල පටන් ගත්හ. නාග­රු­ක්‌ඛා­රාම විහා­ර­ස්‌ථා­නය සතු ඉඩ­ම්ව­ලින් අක්‌කර 20ක් රජ­යට පවරා දෙමින් ගමේ වැසි­යන්ට බෙදා­දෙ­මින් එහි උදා­ග­ම­ක්‌ ­ඉදි කර­වූහ. උන්ව­හ­න්සේගේ ගුරු හිමි වහන්සේ සිහි­ක­රනු පිණිම එම උදා­ග­මට සද්ධා­ලෝ­ක­ගම යන නම තබන ලදි. එහි ඉදි­කළ නිවාස සංඛ්‍යාව 25කි.

බදු­ලු­කැලේ රක්‍ෂිත වනා­න්ත­ර­යෙන් ඉඩම් රජ­යෙන් ලබා ගෙන එහි නිවාස 80ක්‌ ඉදි කර­වූහ. ආර්. ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­ව­රයා එම ගමට පඤ්ඤා­දස්සි ගම යන නම තබා උන්ව­හ­න්සේට කෘත­වේ­දී­තා­වට තවත් නිවාස 30ක්‌ තැ­න­වූයේ පොලි­ස්‌ ­නි­ල­ධා­රීන්ගේ උදව් උප­කා­ර­යෙන් ධන පරි­ත්‍යා­ග­යෙන්ය. එම ගමට පොලි­ස්‌ගම යන නම තැබූහ.

වැල්ලේ­තොට වඩු පාසල ළඟ සිට නායි­ම්බල දක්‌වා කැන්ද­වල හරහා තවත් බස්‌ ­ර­ථ­ය­ක්‌ ­ධා­ව­නය කර­වී­මට කට­යුතු යෙද­වීය. වැල්ලේ­තොට ප්‍රජා ශාලාව ඉදි­කි­රීම, කිත­ල­ගම බට­හිර මහා විද්‍යා­ලය සංව­ර්ධ­නය කිරීම සඳහා තම විහා­ර­ස්‌ථාන සතු ඉඩ­ක­ඩම් පරි­ත්‍යාග කළහ. මාතර සමු­ප­කාර ආරෝ­ග්‍ය­ශාලා සංග­මයේ සභා­පති ධුර­යද උන්ව­හන්සේ ඉසි­ලූහ.

ගමේ දුප්පත් නිවෙ­ස්වල විධි­මත් වැසි­කිළි නැති නිවාස සොයා අලු­තෙන් වැසි­කිළි තනා ගැනීම සඳහා අවශ්‍ය සෑම දේ රජ­යෙන් ලබා දුන්හ.

තමන්ට මළ ගෙව­ල්ව­ලින් ලැබෙන පාංශ­කූල රෙදි සෝදා පවිත්‍ර කොට ගමේ දුප්පත් දරු­වන්ට පාසල් නිල ඇඳුම් මසා ගැනී­මට පරි­ත්‍යාග කළහ.

උන්ව­හන්සේ සිදු කළ ප්‍රජා සේවය ගැන අප ඒ සඳ­හන් කළේ ස්වල්ප­යක් පමණි.

ප්‍රංශ රජයේ ආධාර ඇතිව 1977 පත් වූ රජය නිල්වලා ගඟේ වතුර පාල­නය කර­න්නට නිල්වලා යෝජනා ක්‍රම­ය­ක්‌ ­ක්‍රි­යා­ත්මක කළේය.

ඒ යටතේ ඉදි­කර ඇති මාලි­ම්බඩ කටු­ව­න්ගොඩ වේල්ල නිසා­වෙන් මුළු කිත­ල­ගම ප්‍රදේ­ශ­යම වර්ෂා­ව­කදී මහා ජල ගැල්ම­කට ලක්‌වෙනු කිහිප වතා­වක්‌ම දුටු උන්ව­හන්සේ ගම්වා­සීන් කැටුව එම ස්‌ථාන­යට වැඩම කළහ.

කිසිම කෙනෙ­ක්‌ ­කි­සිම දේකට බය වෙන්න එපා. පොලි­සිය ආවොත් ඔය ඇත්තො නෙවෙයි මමයි ඉදි­රි­පත් වෙන්නෙ. නඩු දාන්නෙ මට. බන්ධ­නා­ගා­ර­ගත වෙන්නෙ මම උන්ව­හන්සේ දැඩිව අව­ධා­ර­ණය කළහ.

උන්ව­හන්සේ තම කසා­වත ගලවා ගස­ක්‌ ­මත දමා මංගල පස්‌ ­පි­ඩැල්ල කැපූහ. ගම්මු කාර්ය සඳහා එක්විය. මහා ජල කඳ බැස ගියේය. ගම ගංව­තු­රෙන් ආරක්‍ෂා විය. පොලි­සිය උන්ව­හන්සේ සොයා පන්ස­ලට පැමි­ණි­යේය.

වේල්ල කැපුවේ මම. මාව අල්ල­ගෙන ගිහිං උසා­වි­යට ඉදි­රි­පත් කරන්න. උන්ව­හන්සේ නොබි­යව ඉදි­රි­පත් වූහ.

අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කරන ලදුව උන්ව­හන්සේ විනි­සු­රුට මෙසේ පැව­සූහ.

.“දුප්පත් අස­රණ මිනි­ස්‌සුන්ගෙ ගෙවල් සිය ගණ­න­ක්‌ ­බේරා ගන්න මේ අත් දෙකේ කර­ගැට එන­තු­රුම මම වේල්ල කැපුවා. මම කළේ වර­ද­ක්‌ ­නම් මාව යවන්න හිර­ගෙට අවු­රුදු ගණ­නා­ව­කට. මම සද්භා­ව­යෙන් යහ­පත් දෙය­ක්‌ ­කළා කියල ඔබ­තු­මාට හිතෙ­නවා නම් මට පන්ස­ලට වඩින්න ඉඩ දෙන්න.

විනි­සුරු මොහො­ත­ක්‌ ­ක­ල්පනා කළේය.

එදින උසා­වියේ වැඩ නිම­වෙන තුරු උන්ව­හන්සේ රඳවා ගත්තේය. අධි­ක­ර­ණයේ සියලු වැඩ අව­සා­නයේ එතුමා උන්ව­හ­න්සේට අව­වාද කර­මින් නිද­හ­ස්‌ ­ක­ළේය. උන්ව­හන්සේ එදා කපා හළ එම වෙල්ලේ හිදැස අද­ටත් ගම්මුන් විසින් හඳු­න්වනු ලබන්නේ පඤ්ඤා­දස්සි කපොල්ල යන නමිනි.

1958 බස්‌ ­ජන සතු කිරීමේ ව්‍යාපා­ර­යට පක්‍ෂව ජන­තාව සම­ඟම පෙර­මුණ ගත් උන්ව­හන්සේ ධන­පති බස්‌ ­මු­ද­ලාලි කෙන­කුගේ මැර­යන්ගේ රුදුරු ප්‍රහා­ර­ය­කට ලක්‌වූහ. හිසෙහි ඇති වූ බර­ප­තළ තුවාල නිසා උන්ව­හ­න්සේට දිගු කල­ක්‌ ­රෝ­හ­ල්ග­තව සිටි­න්නට සිදු­විය.

“මගේ තට්‌ටෙ පැලුවෙ මම හොර­කමේ ගිහිල්ලා අහු­වෙලා නෙවෙයි නේ. ජන­තාව වෙනු­වෙන් ලේ හලන්න මම මතු­ව­ටත් සූදා­නම් එකළ උන්ව­හන්සේ පවසා ඇත.

කල්ල­තෝ­නින් ශ්‍රී ලංකා­වට රිංගා ගන්නා වක­වා­නු­වක් වූ 1950, 60 දශ­ක­වල එය වැළැ­ක්වී­මට ජාතික මට්ටමේ ව්‍යාපා­ර­යක් ද ක්‍රියා­ත්මක විය.

රජයේ නිල­ධා­රි­න්ගෙන් සහ දේශ­පා­ල­න­ඥ­ය­න්ගෙන් ජන­තා­වට සිදු විය යුතු සේවාව ඉටු නොවන විට උන්ව­හන්සේ මාතර නග­රයේ තනි­යම උප­වා­ස­කොට ඉල්ලීම් දිනා ගත්හ.

වැල්ලේ­තොට පාරේ බසය නොගි­ය­දාට හාමු­දු­රුවෝ මාතර බස් නැව­තු­ම්පළේ උප­වා­ස­යකි. පාර පුළුල් කර දෙන ලෙස රජයේ නිල­ධා­රී­න්ගෙන් ඉල්ලා එය නොලැ­බු­ණු­විට මාතර නග­රයේ උප­වාස කළහ. හාමු­දු­රුවෝ මාතර නග­රයේ උප­වාස කරන අයුරු දැක්වෙන ඡායා­රූප පසුදා පත්ත­රයේ පළ වෙයි. එදි­නම ප්‍රශ්න­යට විස­ඳුම් ලැබෙයි. මාතර බස් නැව­තු­ම්පළේ උප­වා­සය කරන අව­ස්ථා­වල පොලි­සිය පැමිණ වැල්ලේ­තොට හිමි ඔස­වා­ගෙන ගිය අවස්ථා එම­ටය. පසුදා පත්ත­ර­වල පොල්ගෙඩි අකු­රින් වැල්ලේ­තොට හිමිගේ සිද්ධිය පළ වෙයි. ප්‍රශ්න­යට ඉන්පසු විස­ඳුම් ද ලැබෙයි.

ගංව­තු­රින් කිත­ල­ගම වැල්ලේ­තොට පාර කැඩු­නොත් හදා­දෙන තෙක් හාමු­දු­රු­ව­න්ගෙන් වග­කි­ව­යු­ත්තන්ට විසු­මක් නැත. තම ඉල්ලීම් ඉටු­වන තෙක් හාමු­දු­රු­වන්ගේ ක්‍රියා කලා­පය එසේය.

1988/1989 කාලයේ දී දේශ­ප්‍රේමී ජනතා ව්‍යාපා­රය නමින් හඳු­න්වා­ගත් අදිසි සංවි­ධා­න­ය­ක්‌ ­රටේ බොහෝ පළා­ත්වල ක්‍රියා­ත්මක වන්නට විය. ඔවුන්ගේ අර­මුණ වූයේ කැරැ­ල්ලක් මගින් රටේ බලය අල්ලා ගැනී­මයි.

රාජ්‍ය විරෝධී පෝස්‌ට­ර­යෙන් ඇරැඹි එම සංවි­ධා­නය ඉතා කෙටි කල­කදී එව­කට පැවැති රජ­යට දැවැන්ත අභි­යෝ­ග­ය­ක්‌ ­විය. පුංචි තුණ්‌ඩු කැබැ­ල්ල­කින් ඉතා කෙටි කාල­ය­ක්‌ ­තු­ළදී විශාල පළා­ත­ක්‌ ­අ­ක­ර්මණ්‍ය කළේය. රජ­යට පක්ෂ­පාති අය­මෙන්ම වාමාං­ශික කොමි­යු­නිස්ට් අයද ගම්වල ඝාත­නය කර­න්නට ඔවුන් ක්‍රියා කළේය. නිවාඩු ලබා නිවෙ­සට පැමිණි පොලිස් හා හමුදා සාමා­ජි­ක­යන් ද ඝාත­නය කර­න්නට විය..

රජයේ දේපළ විනාශ කළේය. පාලම් පාර­වල් රාජ්‍ය ආය­තන ලංගම බස්‌ ­රථ පොදු දේපළ ගිනි තබා විනාශ කර­න්නට වූහ. රටේ ජන­තාව බියෙන් ඇලළී ගියහ. දේශ­ප්‍රේමී ජනතා ව්‍යාපා­රය මඟින් වැල්ලේ­තොට පඤ්ඤා­දස්සි හිමි වෙත නිර­න්ත­ර­යෙන් මරණ තර්ජන එල්ල­ව­න්නට විය. ප්‍රේම­දාස ජන­ප­තිත් වැල්ලේ­තොට පඤ්ඤා­දස්සි හිමි අතර දැඩි මිතු­රු­ක­මක් කලක සිට තිබිණි. උදා­ගම විවෘත කර­න්නට ආ ජන­පති ගමේ පන්ස­ල­ටත් ගමේ පාස­ලවූ කිත­ල­ගම බට­හිර විදු­හ­ල­ටත් පැමි­ණි­යේය. එකල දේශ­ප්‍රේමී ජනතා ව්‍යාපා­රයේ භිෂ­ණ­කා­රීන් ජන­පති පිළි­ග­න්නට ගමේ කිසි­ව­කුට යන්න එපා යැයි නියෝග පනවා තිබිණි. එහෙත් රණ­සිංහ ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­ව­රයා වැල්ලේ­තොට හිමිගේ විහා­ර­ස්ථා­න­යට පැමිණි අතර එය දේශ­ප්‍රේමී ජනතා ව්‍යාපා­රයේ සට­න්ක­රු­වන්ගේ බල­වත් විරෝ­ධ­යට හේතු­වක්ව තිබිණි. එහි අව­සාන ප්‍රති­ඵ­ලය වූයේ දින කිහි­ප­යක් ගත වූ කල එහි­මි­යන්ව ඝාත­නය කර පුලුස්සා දමන ලද දේහය හමු­වී­මය.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT