“දුප්පත් අසරණ මිනිස්සුන්ගෙ ගෙවල් සිය ගණනක් බේරා ගන්න මේ අත් දෙකේ කරගැට එනතුරුම මම වේල්ල කැපුවා. මම කළේ වරදක් නම් මාව යවන්න හිරගෙට අවුරුදු ගණනාවකට. මම සද්භාවයෙන් යහපත් දෙයක් කළා කියල ඔබතුමාට හිතෙනවා නම් මට පන්සලට වඩින්න ඉඩ දෙන්න.’
ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිස පළමු වතාවට මහජන නියෝජිතයකු ලෙස තේරී පත්වූ පළමු භික්ෂූන් වහන්සේ ලෙස සැලකෙන්නේ වැල්ලේතොට පඤ්ඤාදස්සි හිමිය. උන්වහන්සේ පළමු වරට මහජන ඡන්දයකට ඉදිරිපත් වන්නේ 1959 පැවති ගම් සභා මැතිවරණයටය. මාතර තිහගොඩ (මොලොද්දූව) ගම් කාරක සභාවට කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු උන්වහන්සේ එම ගමේ ඡන්දයෙන් පරාජයට පත් විය.
ඒ ජනතාව උන්වහන්සේ කෙරෙහි තිබූ අප්‍රසාදයක් නිසා නොව භික්ෂුවකට ඡන්දය දීමට ජනතාව පෙරට නොපැමිණීම නිසාය. ඉන් පසුව පැවති ගම්සභා ඡන්දයට 1964 තිහගොඩ ගම්සභාවට තරග කොට තිහගොඩ ගම් සභාවේ සභාපති හාමුදුරුවෝ ලෙස පත් වූහ. උන්වහන්සේ දීර්ඝ කාලයක් එම තනතුරේ වැඩ කටයුතු කළහ. භික්ෂූන් වහන්සේ නමක් දේශපාලන සභික ධුරයකට මුලින්ම පත්වීමේ වාර්තාව උන්වහන්සේ සතුව පවතී.
1964 ජනවාරි මස 27 දින තිහගොඩ ගම් කාර්ය සභා මැතිවරණයට කිතලගම බටහිර හා අංගුන්න බදුල්ල ගම් සභා ආසන දෙකටම ඉදිරිපත් වූ උන්වහන්සේ නිතරගයෙන් එම ආසන දෙකට පත් විය. එයද වාර්තාවකි. භික්ෂූන් වහන්සේ නමක් ගම් සභා ආසන දෙකකට එකවර ඉදිරිපත් වී නිතරගයෙන් පත් වීම සුවිශේෂී සිද්ධියකි. පුරා සත් වසරක් එම කොට්ඨාස දෙකෙහි මන්ත්‍රී සභික ධුරය දැරීමට උන්වහන්සේට අවස්ථාව ලැබිණි.
1944 වසරදී පැළෑනේ සිරි වජිරඥාන හිමි වෙතින් උපසම්පදාව ලැබූ උන්වහන්සේ ශ්‍රී ධර්මරක්ඛිත අමරපුර නිකායේ කාරක සංඝ සභික ධුරයක් ද දැරුවේය.
1914 මැයි මස 05 දින උපත ලැබූ උන්වහන්සේගේ ගිහි නම වූයේ පිලදූව මහ බෝගහවත්තගේ සියදෝරිස්ය. මවුපියන් වූයේ මාතර වැල්ලේතොට පිලදූව බෝගහවත්තගේ බයිස් අප්පුහාමි හා හේවා කසකාර කංකානම්ගේ මංචෝ හාමි දෙපළය.
බාල වියේදී සියදෝරිස් දරුවා හරිම අකීකරුය. මෙල්ල කළ නොහැකි විවිධ දඟකාරකම් කරන්ට විය. තාත්තාට දිනක් දඟකාරකම ඉවසිය නොහැකි තැන කේන්ති ගොස් සිය පුතා අල්ලාගෙන ගොස් අත් පා ගැට ගසා නිල්වලා ගඟට විසිකර දැමුවේය. පුතා ගඟට දැමූව ද තාත්තාට මෙය ඉවසිය නොහැකි විය. ඔහු ගෙලවැලලාගෙන මියයාමට ලෑස්ති විය. දරුවා අත්පා ගැටගසා ගඟට දැමූව ද බැමි ලිහාගෙන ගොඩට පීනාගෙන ආවේය. ගෙදර මහ කලබලයක් සිදුවන බව නිවසට පැමිණි ඔහුට දැකගන්නට ලැබිණි. ඔහු පියාගේ දෙපා වැඳ තවත් දඟකාරකම් නොකරන බවට පොරොන්දු වී පියා මරණින් මුදා ගත්තේය. ඔහු යහපත් ළමයකු බවට පත් විය. ඔහුට මහණවන්නට සිතක් පහළ විය. මාපියන් දරුවා මාතර වේරදූව ක්ෂේත්රාරාමාධිපති කිතලගම පඤ්ඤානන්ද හිමිට භාර කළේය. ඔහු වැල්ලේතොට පඤ්ඤාදස්සි නමින් 1933 මැයි මස 08 දින පැවිදි දිවියට ඇතුළත් විය.
උන් වහන්සේ ප්‍රදේශයේ නොදියුණු ගම්මානවලට පාරවල් තැනූහ. වැල්ලේතොට දක්වා මාර්ගයට බස් රථයක් ලබා ගත්හ. වැල්ලේතොට පාලම, දළුගොඩ ඇළ පාලම, අලවත්තාගොඩ පාලම, කිතලගම බටහිර තැපැල් කාර්යාලය ඉදිකර වූහ. කිතලගම යාන්ත්‍රික වඩු පාසල පටන් ගත්හ. නාගරුක්ඛාරාම විහාරස්ථානය සතු ඉඩම්වලින් අක්කර 20ක් රජයට පවරා දෙමින් ගමේ වැසියන්ට බෙදාදෙමින් එහි උදාගමක් ඉදි කරවූහ. උන්වහන්සේගේ ගුරු හිමි වහන්සේ සිහිකරනු පිණිම එම උදාගමට සද්ධාලෝකගම යන නම තබන ලදි. එහි ඉදිකළ නිවාස සංඛ්‍යාව 25කි.
බදුලුකැලේ රක්ෂිත වනාන්තරයෙන් ඉඩම් රජයෙන් ලබා ගෙන එහි නිවාස 80ක් ඉදි කරවූහ. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා එම ගමට පඤ්ඤාදස්සි ගම යන නම තබා උන්වහන්සේට කෘතවේදීතාවට තවත් නිවාස 30ක් තැනවූයේ පොලිස් නිලධාරීන්ගේ උදව් උපකාරයෙන් ධන පරිත්යාගයෙන්ය. එම ගමට පොලිස්ගම යන නම තැබූහ.
වැල්ලේතොට වඩු පාසල ළඟ සිට නායිම්බල දක්වා කැන්දවල හරහා තවත් බස් රථයක් ධාවනය කරවීමට කටයුතු යෙදවීය. වැල්ලේතොට ප්‍රජා ශාලාව ඉදිකිරීම, කිතලගම බටහිර මහා විද්‍යාලය සංවර්ධනය කිරීම සඳහා තම විහාරස්ථාන සතු ඉඩකඩම් පරිත්‍යාග කළහ. මාතර සමුපකාර ආරෝග්‍යශාලා සංගමයේ සභාපති ධුරයද උන්වහන්සේ ඉසිලූහ.
ගමේ දුප්පත් නිවෙස්වල විධිමත් වැසිකිළි නැති නිවාස සොයා අලුතෙන් වැසිකිළි තනා ගැනීම සඳහා අවශ්‍ය සෑම දේ රජයෙන් ලබා දුන්හ.
තමන්ට මළ ගෙවල්වලින් ලැබෙන පාංශකූල රෙදි සෝදා පවිත්‍ර කොට ගමේ දුප්පත් දරුවන්ට පාසල් නිල ඇඳුම් මසා ගැනීමට පරිත්‍යාග කළහ.
උන්වහන්සේ සිදු කළ ප්‍රජා සේවය ගැන අප ඒ සඳහන් කළේ ස්වල්පයක් පමණි.
ප්‍රංශ රජයේ ආධාර ඇතිව 1977 පත් වූ රජය නිල්වලා ගඟේ වතුර පාලනය කරන්නට නිල්වලා යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළේය.
ඒ යටතේ ඉදිකර ඇති මාලිම්බඩ කටුවන්ගොඩ වේල්ල නිසාවෙන් මුළු කිතලගම ප්‍රදේශයම වර්ෂාවකදී මහා ජල ගැල්මකට ලක්වෙනු කිහිප වතාවක්ම දුටු උන්වහන්සේ ගම්වාසීන් කැටුව එම ස්ථානයට වැඩම කළහ.
කිසිම කෙනෙක් කිසිම දේකට බය වෙන්න එපා. පොලිසිය ආවොත් ඔය ඇත්තො නෙවෙයි මමයි ඉදිරිපත් වෙන්නෙ. නඩු දාන්නෙ මට. බන්ධනාගාරගත වෙන්නෙ මම උන්වහන්සේ දැඩිව අවධාරණය කළහ.
උන්වහන්සේ තම කසාවත ගලවා ගසක් මත දමා මංගල පස් පිඩැල්ල කැපූහ. ගම්මු කාර්ය සඳහා එක්විය. මහා ජල කඳ බැස ගියේය. ගම ගංවතුරෙන් ආරක්ෂා විය. පොලිසිය උන්වහන්සේ සොයා පන්සලට පැමිණියේය.
වේල්ල කැපුවේ මම. මාව අල්ලගෙන ගිහිං උසාවියට ඉදිරිපත් කරන්න. උන්වහන්සේ නොබියව ඉදිරිපත් වූහ.
අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදුව උන්වහන්සේ විනිසුරුට මෙසේ පැවසූහ.
.“දුප්පත් අසරණ මිනිස්සුන්ගෙ ගෙවල් සිය ගණනක් බේරා ගන්න මේ අත් දෙකේ කරගැට එනතුරුම මම වේල්ල කැපුවා. මම කළේ වරදක් නම් මාව යවන්න හිරගෙට අවුරුදු ගණනාවකට. මම සද්භාවයෙන් යහපත් දෙයක් කළා කියල ඔබතුමාට හිතෙනවා නම් මට පන්සලට වඩින්න ඉඩ දෙන්න.
විනිසුරු මොහොතක් කල්පනා කළේය.
එදින උසාවියේ වැඩ නිමවෙන තුරු උන්වහන්සේ රඳවා ගත්තේය. අධිකරණයේ සියලු වැඩ අවසානයේ එතුමා උන්වහන්සේට අවවාද කරමින් නිදහස් කළේය. උන්වහන්සේ එදා කපා හළ එම වෙල්ලේ හිදැස අදටත් ගම්මුන් විසින් හඳුන්වනු ලබන්නේ පඤ්ඤාදස්සි කපොල්ල යන නමිනි.
1958 බස් ජන සතු කිරීමේ ව්‍යාපාරයට පක්ෂව ජනතාව සමඟම පෙරමුණ ගත් උන්වහන්සේ ධනපති බස් මුදලාලි කෙනකුගේ මැරයන්ගේ රුදුරු ප්‍රහාරයකට ලක්වූහ. හිසෙහි ඇති වූ බරපතළ තුවාල නිසා උන්වහන්සේට දිගු කලක් රෝහල්ගතව සිටින්නට සිදුවිය.
“මගේ තට්ටෙ පැලුවෙ මම හොරකමේ ගිහිල්ලා අහුවෙලා නෙවෙයි නේ. ජනතාව වෙනුවෙන් ලේ හලන්න මම මතුවටත් සූදානම් එකළ උන්වහන්සේ පවසා ඇත.
කල්ලතෝනින් ශ්‍රී ලංකාවට රිංගා ගන්නා වකවානුවක් වූ 1950, 60 දශකවල එය වැළැක්වීමට ජාතික මට්ටමේ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක විය.
රජයේ නිලධාරින්ගෙන් සහ දේශපාලනඥයන්ගෙන් ජනතාවට සිදු විය යුතු සේවාව ඉටු නොවන විට උන්වහන්සේ මාතර නගරයේ තනියම උපවාසකොට ඉල්ලීම් දිනා ගත්හ.
වැල්ලේතොට පාරේ බසය නොගියදාට හාමුදුරුවෝ මාතර බස් නැවතුම්පළේ උපවාසයකි. පාර පුළුල් කර දෙන ලෙස රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා එය නොලැබුණුවිට මාතර නගරයේ උපවාස කළහ. හාමුදුරුවෝ මාතර නගරයේ උපවාස කරන අයුරු දැක්වෙන ඡායාරූප පසුදා පත්තරයේ පළ වෙයි. එදිනම ප්‍රශ්නයට විසඳුම් ලැබෙයි. මාතර බස් නැවතුම්පළේ උපවාසය කරන අවස්ථාවල පොලිසිය පැමිණ වැල්ලේතොට හිමි ඔසවාගෙන ගිය අවස්ථා එමටය. පසුදා පත්තරවල පොල්ගෙඩි අකුරින් වැල්ලේතොට හිමිගේ සිද්ධිය පළ වෙයි. ප්‍රශ්නයට ඉන්පසු විසඳුම් ද ලැබෙයි.
ගංවතුරින් කිතලගම වැල්ලේතොට පාර කැඩුනොත් හදාදෙන තෙක් හාමුදුරුවන්ගෙන් වගකිවයුත්තන්ට විසුමක් නැත. තම ඉල්ලීම් ඉටුවන තෙක් හාමුදුරුවන්ගේ ක්‍රියා කලාපය එසේය.
1988/1989 කාලයේ දී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් හඳුන්වාගත් අදිසි සංවිධානයක් රටේ බොහෝ පළාත්වල ක්‍රියාත්මක වන්නට විය. ඔවුන්ගේ අරමුණ වූයේ කැරැල්ලක් මගින් රටේ බලය අල්ලා ගැනීමයි.
රාජ්‍ය විරෝධී පෝස්ටරයෙන් ඇරැඹි එම සංවිධානය ඉතා කෙටි කලකදී එවකට පැවැති රජයට දැවැන්ත අභියෝගයක් විය. පුංචි තුණ්ඩු කැබැල්ලකින් ඉතා කෙටි කාලයක් තුළදී විශාල පළාතක් අකර්මණ්‍ය කළේය. රජයට පක්ෂපාති අයමෙන්ම වාමාංශික කොමියුනිස්ට් අයද ගම්වල ඝාතනය කරන්නට ඔවුන් ක්‍රියා කළේය. නිවාඩු ලබා නිවෙසට පැමිණි පොලිස් හා හමුදා සාමාජිකයන් ද ඝාතනය කරන්නට විය..
රජයේ දේපළ විනාශ කළේය. පාලම් පාරවල් රාජ්‍ය ආයතන ලංගම බස් රථ පොදු දේපළ ගිනි තබා විනාශ කරන්නට වූහ. රටේ ජනතාව බියෙන් ඇලළී ගියහ. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මඟින් වැල්ලේතොට පඤ්ඤාදස්සි හිමි වෙත නිරන්තරයෙන් මරණ තර්ජන එල්ලවන්නට විය. ප්‍රේමදාස ජනපතිත් වැල්ලේතොට පඤ්ඤාදස්සි හිමි අතර දැඩි මිතුරුකමක් කලක සිට තිබිණි. උදාගම විවෘත කරන්නට ආ ජනපති ගමේ පන්සලටත් ගමේ පාසලවූ කිතලගම බටහිර විදුහලටත් පැමිණියේය. එකල දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ භිෂණකාරීන් ජනපති පිළිගන්නට ගමේ කිසිවකුට යන්න එපා යැයි නියෝග පනවා තිබිණි. එහෙත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා වැල්ලේතොට හිමිගේ විහාරස්ථානයට පැමිණි අතර එය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සටන්කරුවන්ගේ බලවත් විරෝධයට හේතුවක්ව තිබිණි. එහි අවසාන ප්‍රතිඵලය වූයේ දින කිහිපයක් ගත වූ කල එහිමියන්ව ඝාතනය කර පුලුස්සා දමන ලද දේහය හමුවීමය.