වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු සිය මෝටර් රථයට හප්පා අනතුරකට ලක් කර රටින් පලා ගොස් මාස 06කට පසු මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ චෝදනාවට ලක් වී සිටින නදීම් බාසික් අලි නමැති 23 හැවිරිදි තරුණයා පෙරේදා (27) රාත්‍රී ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (28) ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැර තිබේ.
මෙරට ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තාගේ පුතා වන මෙම සැකකරු පළාත් පාලන මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි මහනගර සභාවකට ද ප්‍රධාන දේශපාලන පක්ෂයකින් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින්නෙකි.
මෑතකදී සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති දේශපාලන රැස්වීම් දෙකකට දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවලින් පිරිස් රැගෙන ගොස් තිබුණේ ද මෙම සැකකරුගේ ගෝලබාලයන් විසින් බවට බුද්ධි අංශ නිලධාරීන්ට වාර්තා කර තිබිණි. රුපියල් 3000ක මුදලක්, කෑම බීම සමඟ එම රැස්වීම්වලට සහභාගි වන පිරිස වෙත දී තිබිණි. ජනාධිපතිවරණයේ තවත් එක් අපේක්ෂකයකු වෙනුවෙන් ලබන මාසයේදී දෙහිවල පැවැත්වෙන රැස්වීමකට ද ඔහුගේ ගෝලබාලයන් මුදල් ගෙවා සෙනඟ රැස් කරමින් සිටින බවට ද බුද්ධි අංශ තොරතුරු වාර්තා කර තිබිණි.
පොලිස් මූලස්ථානය නිවේදනය කරමින් සඳහන් කරනු ලැබුවේ විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ පුතකු වන සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝගයක් ද නිකුත් කර තිබෙන බවය. ඒ පසුගිය පෙබරවාරි 16 වැනිදා වැල්ලවත්ත හැව්ලොක් සිටි හිදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියකු අනතුරට ලක්කිරීම සම්බන්ධයෙනි.
දෙහිවල වනරතන පාරේ පදිංචිකරුවකු වන මෙම සැකකරු පෙරේදා රාත්‍රී 10.10ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.
මෙසේ අත්අඩංගුවට ගත් නදීම් බාසික් අලි ඊයේ අලුයම 12.45ට පමණ කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක් වෙත භාර දීමට පියවර ගෙන තිබිණි.