කැනඩාවට යවන බව පවසා රුපියල් කෝටි 4කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දුන්නැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් නීතිඥවරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28) නියෝග කළේය.
මෙලෙස ඇප මත නිදහස් කරනු ලැබුවේ ශ්‍රියානි මනම්පේරි නමැති නීතිඥවරියයි.
මෙහිදී අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ වංචා විමර්ශන කාර්යාංශය පැවසුවේ කැනඩා යවන බව පවසා රුපියල් හාරකෝටි හැටතුන් ලක්ෂක මුදලක් වංචා කර දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින රණසිංහ බණ්ඩාරගේ ආනන්ද වෛද්‍යරත්න අබේරත්න යන මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුට වංචා කිරීම සඳහා මෙම සැකකාර නීතිඥවරිය ආධාර අනුබල දී ඇති බවයි. මෙම සිද්ධියෙන් අගතියට පත් පර්ශ්වයට එක් එක් ගිවිසුම් සකසා දී ඇති බවට වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළේය. මෙම සිද්ධියට අදාළ පැමිණිලි 39ක් වංචා විමර්ශන ඒකකයට වර්තා වී ඇති බවට ද අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළේය.
එම ගිවිසුම්වල කැනඩා යවන බවට කිසිදු කරුණක් ඇතුළත් නොකොට හුදෙක් මුදල් ගනුදෙනුවක් බවට පමණක් ගිවිසුම නිර්මාණය කොට ඇති බව ද වංචා විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක රෂිත ප්‍රියන්ත මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
එම සැකකාර නීතිඥවරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සංජය ගමගේ මහතා අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ රාජකාරි කටයුතුවල නියළෙමින් සිටියදී කරන ලද වරදකට කිසිදු නීතිඥවරයකු හෝ නීතිඥවරියක නීතිපතිවරයාගේ අවසරයකින් තොරව මෙලෙස අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවසර නැති බවයි.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නීතිඥවරිය ඇප මත නිදහස් කිරීමට නියෝග කළේය.