රබර් වගාකරුවන්ටත් රුපියල් 4000ක පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙරට රබර් වගාවෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම අරමුණු කර ගනිමින් රජය මෙම සහනාධාරය ලබා දෙන බව ඇමැතිවරයා කියයි. ඒ අනුව රබර් වගාව සඳහා ලබා දෙන මෙම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා දීමට පියවර ගෙන ඇත.
මෙරට රබර් වගාවට වසර ගණනාවක් තුළ පොහොර දැමීමක් සිදු කර නැති බවට ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය මඟින් කරුණු පෙන්වා දී තිබේ. ඒ අනුව වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අවම වී ඇත. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් රබර් වගාව සඳහා යොදන කිලෝග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දී තිබේ.
මේ වන විට වී වගාවට හෙක්ටයාර එකක් සඳහා රුපියල් 25,000ක් වශයෙන් විශාල පොහොර සහනාධාරයක් ලබා දී ඇති අතර එයට අමතරව තේ, පොල් හා කුරුඳු වගාවන් සඳහා රුපියල් 4000ක පොහොර සහනාධාරය ලබා දීමට රජය පියවර ගෙන ඇත.