“අපේ රටේ හිටපු පාලකයන්ගේ හැසිරීම් රටාව ගැන බුද්ධිමත් ජනතාවට අද තියෙන්නේ අසීමාන්තික කලකිරීමක්. ඒකට ප්‍රධානම හේතුව තමයි පක්ෂ මාරු කරමින් වාසි පිලට පැනීම. මේ පනින ක්‍රමය ඔවුන්ගේ වාසියට මිස පොදු මහජනතාවගේ හෝ රටේ පැවැත්ම උදෙසා කරන ක්‍රියාවක් නොවන බව ජනතාව දැන් හොඳින්ම තේරුම් අරගෙන තිබෙනවා” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පසුගියදා ජාතික ජන බලවේගයේ වත්තල ආසනයේ හීන්කෙන්ද, තුඩුවේගෙදර මැතිවරණ ප්රචාරක කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.
වර්තමාන දේශපාලන රැල්ල පිළිබඳව පැහැදිලි කළ මහාචාර්යවරයා මෙසේ ද පැවසීය.
“ජාතික ජන බලවේගයේ ප්‍රධානම අරමුණ අසීමිත වරදාන, වරප්‍රසාද විඳිමින් මහජන බදු මුදලින් සුඛෝපභෝගී කුමාර ජීවිත ගත කරන දේශපාලනඥයා සාමාන්‍ය පුද්ගලයකු බවට පත්කිරීමයි. අපි හදන ආණ්ඩුවෙන් සමස්ත රට වැසියාටම රටේ නිදහස් පුරවැසියන් ලෙස සතුටින් ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන තියෙනවා. අද මේ රටේ ජනතාවට මැතිඇමතිවරු මොන පක්ෂෙ ද ඉන්නෙ කියලා හොයාගන්න ක්‍රමයක් නැහැ. මොකද අද ඉන්න වේදිකාවේ නෙවේ ඇමැතිවරයා හෙට ඉන්නෙ. මේක මහා පිළිකුල්සහගත මඩ දේශපාලනයක්. පුළුවන් තරම් මඩ ගහපු අය නැවත ආවම ආයෙත් සුහදශීලීව බදාගෙන පිළිගන්නවා. ඒකට සරලව දේශපාලනයේ සදාකාලික හතුරොත් නෑ මිතුරොත් නෑ කියලා ඒ අයම කියනවා. නමුත් ඒක ද ඇත්ත කතාව. නෑ ඒක නෙවේ. මේ දේශපාලකයන්ට රටේ අනාගතය ජනතාවගේ දරුවන්ගේ හෙට ලෝකය ගැන තියා ඔවුන්ට ඔවුන්ගේ හෙට ගැනවත් අවබෝධයක් නැහැ.
ඉතින් ඔවුන්ට ජීවත්වීමට ඇති එකම මාර්ගය දේශපාලනය විතරයි. මොකද ඔවුන්ට අඩුම ගානේ හාඩ්වෙයාර් එකක්වත් පටන් ගන්න දැනුමක් නැහැ. දන්නෙ එකම දෙයයි. ඒ දේශපාලනය විතරයි. සර්වජන ඡන්ද බලය ලැබුණදා ඉඳලා එදා මෙදාතුර අපි ඒ ක්‍රමයට යටවෙලයි ඉන්නෙ. රාජ්‍ය සේවකයා කරන රාජකාරිය තමයි දේශපාලකයත් කරන්නෙ. ඔබ ඡන්දය දෙන්නෙ එක පුද්ගලයකුට වුණත් ඒ බලයෙන් ඔහුගේ හෝ ඇයගෙ සමස්ත පවුලම යැපෙනවා. මෙන්න මේ දුර්වල දේශපාලන සංස්කෘතිය මේ රටෙන් අතුගා දැමීම අපේ පක්ෂයේ මූලිකම අරමුණයි.
අනිත් කරුණ තමයි අපේ රටේ නඩු විසඳීමට ගන්නා කාලය. එක නඩුවක් අවුරුදු පහක් හයක් අහනවා. මේකෙන් ජනතාව ආර්ථිකවත් මානසිකවත් කඩා වැටිලා, සාක්ෂි අමතක වෙලා සමහරු ජීවිතෙන් යන්නත් ගිහින්. මේ යල් පැනපු නීති අපි අනිවාර්යයෙන්ම වෙනස් කරනවා. මේ රටේ සැමට පොදුවේ එක නීතියක් තියෙනවාද නැහැනේ. දේශපාලකයන් වෙනුවෙන් නිතරම නීතිය නම්‍යශීලියි. දුප්පත්, අහිංසක මනුස්සයාට එහෙම ද, නීතිය සැමට සාධාරණ ද, නැහැ.
අන්න ඒ සමාජ සාධාරණය සහිත රටක් නිර්මාණය කිරීමට ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයාට ඔබේ සහාය දෙන ලෙස ආරාධනා කරනවා” යැයි මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා රැස්ව සිටි පිරිස අමතමින් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නේලක හපුආරච්චි, වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහිත සේරම්, සිවිල් ඉංජිනේරු මිනිඳු ඈපාසිංහ යන මහත්වරු සහ පාක්ෂිකයෝ රැසක් එක්ව සිටියහ.