Home » තම 12 හැවිරිදි දියණියගේ මුහුණ ගිනිකූරෙන් පිලිස්සූ පියා උසාවියට

තම 12 හැවිරිදි දියණියගේ මුහුණ ගිනිකූරෙන් පිලිස්සූ පියා උසාවියට

by mahesh
August 30, 2024 1:00 am 0 comment

සී. ගමගේ - සොරණාතොට සමූහ සහ බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන

බණ්ඩාරවෙල, ලියන්ගහවෙල, අඹදන්ඩේගම ප්‍රදේශයේ නිවෙසක දී දැල්වූ ගිනිකූරකින් සිය බාලවයස්කාර 12 හැවිරිදි දියණියගේ මුහුණ පුලුස්සා බැණ තර්ජනය කරමින් පහරදී කෲර වධහිංසා දුන්නැයි සැකපිට දෙදරු පියකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව ලියන්ගහවෙල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල, අඹදන්ඩේගම, මැදපතන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු පියෙකි.

දැල්වූ ගිනිකූරකින් මුහුණ පුලුස්සා පහරදී තුවාල ලැබූ බණ්ඩාරවෙල, අඹදන්ඩේගම ප්‍රදේශයේ පදිංචි ලියන්ගහවෙල ප්‍රදේශයේ පාසලක 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවිය දියතලාව රෝහලට ඇතුළත් කළ බව ද පොලිසිය පැවැසීය.

මේ සිසුවියගේ මව අඹදන්ඩේගම, රෝස්ලෑන්ඩ්වත්ත තේ කර්මාන්ත ශාලාවක රැකියාව කරන බවත්, ඇයට අවුරුදු හයක නැඟණියක සිටින බවත් පොලිසිය පවසයි. සිසුවිය පාසල නිමවී සවස නිවෙසට පැමිණ ආහාරගෙන මුළුතැන්ගේ වතුර කරාමය අසල අත සෝදමින් සිටියදී පැමිණ ඇති පියා වැරදි කිහිපයක් තියෙනවා කියමින් දැරියට බැණ තර්ජනය කරමින් අතින් පහරදී අත තිබූ ගිනි පෙට්ටියෙන් ගිනිකූරක් දල්වා දැරියගේ මුහුණ පුලුස්සා ඇතැයි පොලිසිය සඳහන් කළේය.

මෙයින් දැරියගේ මුහුණේ දකුණු පැත්තේ පිලිස්සුම් තුවාල සිදුවී ඇති බවත්, දියණිය මේ බව කිසිවකුට නොපවසා පෙරේදා (28) පාසල් ගොස් සිටියදී එහි විදුහල්පතිවරයා මේ දැරියගේ මුහුණේ පිලිස්සුම් තුවාලයක් තිබෙනවා දැක ඇයගෙන් තොරතුරු විමසා මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසු සැකකාර පියා මෙලෙස අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකාර පියා බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන, පොලිස් අධිකාරි ඩී. බී. එච්. කළණසිරි, සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු මහත්වරුන්ගේ උපදෙස් මත, ලියන්ගහවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල විජේකෝන් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT