Monday, May 5, 2025
Home » වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු 16ක් අත්අඩංගුවට
ක්ලබ් වසන්ත ඝාතනය

වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු 16ක් අත්අඩංගුවට

පොඩි බලයාට - බහිරවයාට නවාතැන් දුන් හිටපු පළාත් සභා මන්ත්‍රී මාට්ටු

by mahesh
August 30, 2024 1:00 am 0 comment

මීගොඩ - බී.කේ. කත්‍රිආරච්චි, බණ්ඩාරගම - බිමල් ජයසිංහ, පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව්දෙනකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එම වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 16 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත අංක 11 කණ්ඩායම පවසයි.

පාණදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අදාළ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවකු වන සජිත් ශ්‍රියන්ත ද සිල්වා නොහොත් ‘පොඩි බලයා’ නමැති වෙඩික්කරුට සහ ඝාතන සැකකරුවන් ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයේ රියැදුරු ලෙස මදුසංක ද සිල්වා නොහොත් ‘බහිරවයා’ යන අයට නවාතැන් සහ අනුබල දුන් බව කියන පාණදුර පිංවත්ත පාසල් මාවත පදිංචිකරුවකු වන 56 හැවිරිදි හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබිණි.

සංවිධානාත්මක අපරාධකරුවකු වන විදෙස්ගතව සැඟවී සිටින කන්ජිපානි ඉම්රාන් නමැත්තාගේ දැනුම් දීම මත ජූඩ් නමැත්තකු සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාට දුරකතනයෙන් දැනුම්දී ඇත්තේ තම මිතුරන් දෙදෙනකු සඳහා දින කිහිපයක් නවාතැන් ලබා දෙන ලෙස කරුණු අනාවරණය වූ බව ද එම ඒකකය පවසයි.

ඒ අනුව අත්අඩංගුවට පත් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා විසින් දින 25ක කාලයක් සැකකරුවන් දෙදෙනකුට සිය නිවෙසේ නවාතැන් ලබා දී ඇති බවට අනාවරණය වූ බවත් මෙම පුද්ගලයන් දෙදෙනා ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් බවට සැකකාර පළාත් මන්ත්‍රීවරයා දැනගෙන ඇත්තේ නවාතැන් ලබාදී දින පහ හයකට පමණ පසු බව ද සැකකරුගෙන් ලබාගත් සාක්ෂි මත අනාවරණය වී ඇත.

පාණදුර පිංවත්ත ප්‍රදේශයේ පිහිටි සැකකාර හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයාගේ නි‍වෙස බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් හඳුනාගෙන පරීක්ෂාවට ලක් කර තිබිණි. ඒ අනුව සැකකාර වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනාට ද රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝග ලබා ගැනීමට නියමිත වේ.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, පොලීසිය මාධ්‍ය හරහා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පැතීමත් සමඟ තමන්ට සැඟව සිටීමට තැනක් නොතිබූ බවය.

ක්ලබ් වසන්ත ඝාතනයට ආසන්න දිනකදී තමන් ඇතුළු පිරිස ඩුබායිහී සිටින පුද්ගලයකුගේ සම්බන්ධීකරණය මත අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකට පැමිණි බවද ඔවුන් පොලීසිය හමුවේ පවසා තිබේ.

එම නිවසට පැමිණි අයකු විසින් පසුදින උදෑසන ඝාතනය කළයුතු පුද්ගලයාගේ ඡායාරූපයක් පෙන්වූ බවත් ඡායාරූපයේ සිටින පුද්ගලයා ක්ලබ් වසන්ත බවට එහිදී හඳුනා නොගත් බවත් ඔවුන් පවසා ඇති බව සඳහන් ය.

අනතුරුව KPI ලෙස සටහන් කරන ලද උණ්ඩ යෙදූ මැගසින් සහිත ටී.56 ගිනි අවි දෙක වෙඩික්කරුවන්ට ලබාදී ඔහු එම ස්ථානයෙන් පිටව ගිය බවට සැකකරුවන් පාපෝච්චාරණය කළ බව පොලීසිය පැවසීය.

ඒ අනුව පසුගිය ජුලි මස 8 වැනිදා උදෑසන වෙඩික්කරුවන් දෙදෙනා ‘බහිරවයා’ නමැත්තා සමඟින් මෝටර් රථයකින් අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයට ගොස් ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර තිබේ.

එහිදී පළමුව ටැටූ මධ්‍යස්ථානයට ඇතුළු වූ ‘පොඩි බලයා’ නමැති වෙඩික්කරු සිතා ඇත්තේ, කේ. සුජීවාගේ සැමියා ක්ලබ් වසන්තගේ පෞද්ගලික ආරක්ෂකයෙක් බවටය.

ඒ අනුව ඔහුට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කළ සැකකරු අනතුරුව සිය පළමු මැගසිනයේ උණ්ඩ අවසන්වන තෙක් ක්ලබ් වසන්තට වෙඩි තැබූ බවට පොලීසියට පවසා තිබේ.

පසුව ඔහු පසුපස සිටි අනෙක් වෙඩික්කරුද ක්ලබ් වසන්තට වෙඩි තැබූ බව ඔහු පවසා ඇත.

අනතුරුව ඔවුන් මෝටර් රථයෙන් පැමිණ වෑන් රථයකට නැඟ කඩවතට ගොස් එහි සිට මාතර දක්වා බස් රථයකින් පළාගොස් තිබේ.

මාතරදී ඔවුන් සතුව තිබූ ගිනිඅවි වෙනත් අයකු පැමිණ රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. පසුව ඔවුන් කතරගම ප්‍රදේශයේ සැඟව සිටියදී ‘ලොකු පැටී’ ඩුබායී සිට දුරකථනයෙන් අමතා ඔවුන්ට සුබ පතා තිබේ.

එමෙන්ම කතරගමදී ප්‍රවෘත්ති ප්‍රකාශ නැරඹීමේදී තමන් විසින් ඝාතනය කර ඇත්තේ ක්ලබ් වසන්ත නමැත්තා යැයි දැනගත් බවට ඔවුන් පොලීසිය හමුවේ හෙළිකර ඇත.

ඝාතනය වෙනුවෙන් අවස්ථා කිහිපයකදී මොවුන්ට රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලක් ලබාදී ඇති බවද පොලීසිය සඳහන් කළේය.

පසුව පිරිස මාතරට පැමිණ වෙන්වී ගොස් ඇති අතර පොලීසිය මොවුන් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පැතීමත් සමඟ නැවත එක් වී විවිධ ස්ථානවල සැඟව සිට ඇති බව කියයි.

එහිදී තමන් දෙදෙනාට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ අමල් සිල්වා නමැත්තාගේ නිවසේ නවාතැන් ගන්නා ලෙසට ඩුබායි සිට උපදෙස් ලැබුණු බවද ඔවුන් පොලීසිය හමුවේ අනාවරණ කර තිබුණි.

දින 20කට අධික කාලයක් ඔවුන් එහි රැඳී සිට ඇති අතර අමල් සිල්වා විසින් ඔවුන්ගේ භාවිතය සඳහා දුරකථනයක් ද ලබාදී තිබුණු බවද පොලීසිය පැවසීය.

ඒ අනුව බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තේය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, ‘කංජිපානි ඉම්රාන්’ පැවසූ බව සඳහන් කරමින් ‘ජූඩ්’ නැමැත්තකු තමන්ට දුරකථන ඇමතුමක් ලබාදී පුද්ගලයන් දෙදෙනකුව තමන් වෙත එවා ආරක්ෂාව සපයන ලෙස පැවසූ බවය.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලීසිය වෙත භාරදී ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් හා KPI ලෙස සටහන් කරන ලද ටී 56 උණ්ඩ තොගයක් සොයාගැනුණේ ඔවුන් ඝාතනයට පෙර නවාතැන්ගෙන සිටි අතුරුගිරිය නිවසේ සඟවා තිබියදීය.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත සිදු කෙරෙයි.

මේ අතර ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට පසුගිය 22වනදා ත්‍රස්ත මර්දන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී ඔහු වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර තිබුණි.

ඔහු පවසා ඇත්තේ, මාකඳුරේ මදූෂ් ඩුබායී හිදී පැවැත් වූ සාදයට ක්ලබ් වසන්තට ද ආරාධනා කර තිබූ අතර ඔහු ඊට නොගොස් ඒ පිළිබඳ ආරක්ෂක අංශ වෙත ඔත්තු ලබාදීම හේතුවෙන් ‘ලොකු පැටීගේ’ අනුදැනුම මත මෙම ඝාතනය සිදු කළ බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT