අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවකු ලෙස නම් කර සිටින අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාගෙන් පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ගෙන් සහ පාතාලයෙන් ජීවිත තර්ජන එල්ල වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මෙම සිද්ධියට අදාළ නඩුව විවෘත අධිකරණය හමුවේ කැඳවන ලෙස නීතිඥයන් මෝසමක් මඟින් කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා ප්‍රතික්ෂේප කළේය.
අදාළ නඩුව කැඳවා කරුණු දැක්වීමට අවස්ථාව සලසා දෙන්නැයි නීතිඥයන් කළ ඉල්ලීම ඊයේ (29) ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නීතිඥයන්ට දැනුම් දුන්නේ මෙම සිද්ධියේ පැමිණිලිකාර පාර්ශ්වය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විවෘත අධිකරණයේ නැති අවස්ථාවක ඒකපාර්ශ්වීයව කරුණු දැක්වීමට අවස්ථාව ලබා දිය නොහැකි බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී අවශ්‍ය නම් අදාළ නඩුව මෝසමක් මඟින් යළි කැඳවා කරුණු දැක්විය හැකි බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නීතිඥයන්ට දන්වා සිටියේය.
ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතාගේ උපදෙස් මත නීතිඥ හික්කඩුව ලියනගේ ඉසුරි උදානි මෙනෙවිය අදාළ මෝසම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවාය. එම මෝසම මඟින් සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම වෙනුවෙන් නීතිඥයන් පවසා ඇත්තේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ උසස් නිලධාරීන් පිරිසකගෙන් සහ පාතාල සාමාජිකයන්ගෙන් තම සේවාදායකයාට (හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාමට) ජීවිත තර්ජන එල්ල වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුව විවෘත අධිකරණය හමුවේ කැඳවන ලෙස ද නීතිඥයන් ස්වකීය මෝසම මඟින් ඉල්ලා ඇත.