නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා කොළඹ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. ඉන්දීය අගමැතිවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා කොළඹ ආරක්ෂක පර්ෂදයේ ආරම්භක ලේඛන අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.
2023 දෙසැම්බර් මස මොරිෂස් රාජ්‍යයේ පැවති හයවන ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ සාකච්ඡාවලින් අනතුරුව ඉන්දියාව,
මාලදිවයින, මොරිෂස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව විසින් කොළඹ ආරක්ෂක පර්ෂද ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා ප්රඥප්තියට සහ අවබෝධතා ගිවිසුමට කොළඹ දී ඊයේ (30) අත්සන් තැබීය.
ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමෙහිලා කොළඹ ආරක්ෂක පර්ෂදයේ වැදගත් කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ආරම්භක ලේඛනවල වැදගත්කම ඉස්මතු කළේය. සහයෝගිතාවයේ විවිධ කුලුනු හරහා තිරසර නියැළීම සහතික කිරීමෙහිලා කොළඹ ආරක්ෂක පර්ෂදයේ භූමිකාව අවධාරණය කරමින් ඒ මහතා ඉන්දීය සාගර කලාපයේ සාම්ප්‍රදායික, සාම්ප්‍රදායික නොවන සහ නැගී එන දෙමුහුන් අභියෝගයන්ට මුහුණ දීම සඳහා සාමූහික ප්රයත්නයන්හි වැදගත්කම අවධාරණය කළේය.
ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරු හමුවූ අතර, ඒ මහතා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක සහ මාලදිවයිනේ ජාතික ආරක්ෂක උපදේශක ඉබ්‍රහිම් ලතීෆ් මහත්වරු ඇතුළු කොළඹ ආරක්ෂක පර්ෂදයේ සාමාජික රටවල ජාතික ආරක්ෂක උපදේශකවරු හමුවිය.
කොළඹ සිටි කාලය තුළ ජාතික ආරක්ෂක උපදේශකවරයා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්වරු මෙන්ම උතුරු නැඟෙනහිර සහ වතුකර ප්‍රදේශ ඇතුළු විවිධ දේශපාලන නායකයන් සහ නියෝජිතයන් ද හමු විය.