කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනකු ගොනු කළ පෙත්සම් තුනක් සලකා බැලීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනකු ඊයේ (30) ඉවත් වූහ.
එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කරන ලදි. මෙහි එක් පෙත්සම්කරුවකු වන සුගත් මෙන්ඩිස් මහතා මීට පෙර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් වන තීන්දුවක් තමන් ප්‍රකාශයට පත් කළ බැවින් මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා එහිදී සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මියද සඳහන් කළේ මෙම පෙත්සම් විභාගයෙන් තමා ද ඉවත් වන බවය. ඒ අනුව එම විනිසුරුවරුන් දෙදෙනා නොමැති වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියම කෙරිණ. පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම ලබන වසරේ මාර්තු මස 12 වැනිදා සිදු කිරීමට නියම කෙරිණ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි හිටපු උප පොලිස් පරීක්ෂකවරුන් වන එස්.ඩී.එන්. ප්‍රේමතිලක සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත. පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් පෙත්සම්වල වගඋත්තරකරුවෝ වෙති. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ හපිෆී පාරිස් සහ නීතිඥ ශාන්ත ජයවර්ධන සහ නීතිඥ ශානක ද සිල්වා යන මහත්වරු පෙනී සිටියහ.