Home » ඩුබායි යන්න ආ විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියගේ බෑගයේ ජීව උණ්ඩයක්

ඩුබායි යන්න ආ විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියගේ බෑගයේ ජීව උණ්ඩයක්

by sachintha
September 2, 2024 1:35 am 0 comment

ඩුබායි වෙත පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකගේ අත් බෑගයේ තිබූ ටී – 56 උණ්ඩයක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ගමන් මලු පරිලෝකන යන්ත්‍ර (Scan Test) පරීක්ෂා කිරීම සිදු කරමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දීමට පියවර ගෙන තිබේ.

ඇය කුරුණෑගල, නිකදළුපොත, හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකි. ඇය ඉකුත්දා (31) පස්වරු 05.45ට ඩුබායි බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. – 225 දරන ගුවන් යානය සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි. ඩුබායි හි වාසය කරන සිය අක්කා දැක බලාගැනීම සඳහා යෑමට මේ විශ්‍රාමික නිලධාරිනිය කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි. ඇයගේ ගමන් මලු පරිලෝකන යන්ත්‍ර මඟින් පරීක්ෂා කළ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මේ ජීව උණ්ඩය සොයා ගෙන තිබූ අතර, පසුව ඇය විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාරදී තිබේ. එහිදී ඇය ප්‍රකාශයක් දෙමින් මේ උණ්ඩය තම අත් බෑගයට පැමිණි ආකාරය පිළිබඳව තමාට අවබෝධයක් නොමැති බව ප්‍රකාශ කර තිබේ.

පසුව ඇය සහ මේ ජීව උණ්ඩය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

මේ අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත, පොලිස් කොස්තාපල් 84419 දිසානායක සහ කාන්තා පොලිස් කොස්තාපල් 13283 දිල්රුක්ෂි විසින් සිදු කරමින් සිටී.

මේ විශ්‍රාමික සෙබළිය ඊයේ (01) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT