Saturday, May 10, 2025
Home » පාතහේවාහැට සිටි වයස්ගතම කාන්තාව මියයයි

පාතහේවාහැට සිටි වයස්ගතම කාන්තාව මියයයි

by sachintha
September 2, 2024 1:04 am 0 comment

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ ජීවත්වූ වයස්ගතම පුරවැසියා ලෙස වාර්තා අතරට එක්ව සිටි වයස අවුරුදු 102ක් වූ මාරස්සන මීරුප්ප ග්‍රාම නිලධාරි වසමේ පදිංචිව සිටි වීරන් කාලිනංගී මාතාව පසුගිය 27දා ජීවිතක්ෂයට පත්ව තිබේ. වීරන් කාලිනංගී නමැති මෙම මාතාව 1922 පෙබරවාරි මස 22වැනිදා මාරස්සනදී උපත ලබා තිබිණි. දරුවන් දොළොස් දෙනෙකුගේ මවක්ව කාලිනංගී මාතාවගේ සැමියා 2002 වසරේ මියගොස් ඇති අතර ඔහු තැපැල් දෙපාර්තමේන්තුවේ වසර හතළිස් දෙකක් (42) සේවය කර ඇති බව දරුවන් හා පවුලේ ඥාතීහු සඳහන් කරති.

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව ඇති තොරතුරු අනුව බල ප්‍රදේශය තුළ ජීවත්වූ වයස්ගතම පුරවැසියා ලෙස මියගිය කාලිනංගී මාතාවගේ නම වාර්තා අතරට එක්ව ඇති අතර වයස අවුරුදු සියයක් (100) සම්පූර්ණ වූ විට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට රජය මගින් ප්‍රදානය කෙරෙන සියවස් පූර්ණ දීමනාව ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඇය වෙත ලබාදී තිබේ. මියයන තුරුම තම මව කිසිදු රෝගාබාධයකට ගොදුරු නොවීම ද විශේෂත්වයක් බව කාලිනංගී මාතාවගේ දරුවෝ වැඩිදුරටත් පැවසූහ. ඇයගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුගිය 30 වැනි දින සිදු කෙරිණි.

ගලහ සමූහ – සී.කේ. වික්‍රම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT