2024 ජනාධිපතිවරණය සඳහා දමිළ පාර්ශ්වයෙන් ඉදිරිපත්වන පොදු අපේක්ෂකයා වශයෙන් පී. අරියනේත්‍රන් මහතාව තෝරා පත් කරගෙන තිබේ. උතුරේ සන්ධානගතව සිටින දමිළ දේශපාලන පක්ෂ හතක නියෝජිතයින් විසින් මෙම තෝරා ගැනීම සිදුකර තිබේ. ඔහුගේ නම යෝජනා කිරීම සඳහා සම්බන්ධ වී ඇත්තේ දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්), දෙමළ ජාතික විමුක්ති සංවිධානය (ටෙලෝ), ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (ඊපීආර්එල්එෆ්), දෙමළ ජාතික පක්ෂය සහ තමිල් මක්කල් කූටනි නම් පක්ෂය ඇතුළු දෙමළ පක්ෂ 7 කි. ඊට අමතරව සමහර සිවිල් සංවිධානද සහාය පළකිරීමට එක්ව ඇත. කෙසේ වෙතත් සියලු දෙමළ පක්ෂ ඔහුගේ අපේක්ෂකත්වයට සහාය පළ නොකරති. වර්තමානයේ දමිළ දේශපාලනයේ තත්ත්වය මෙසේය.
1982 ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ පළමු දමිළ අපේක්ෂකයා ලෙස ඉතිහාසයට එක් වන්නේ, කුමාර් පොන්නම්බලම් මහතාය. ඒ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය නම් දේශපාලන පක්ෂය නියෝජනය කරමිනි. 1982 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණි. නමුත්, එවර ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාවම අබිබවා ගිය සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ අපේක්ෂක කුමාර් පොන්නම්බලම්, යාපනය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 9,963කිනි. එහි දී පොන්නම්බලම් වඩ්ඩුක්කෝඩෙයි, කයිට්ස්, චාවකච්චේරි, නල්ලූර්, යාපනය සහ කිලිනොච්චි යන ආසන ජයග්‍රහණය කළේය. ඒ අනුව උතුරු පළාතේ අපේක්ෂකයන් ලබා ගත් ඡන්ද ප්‍රමාණය පහත ආකාරයට දැක්විය හැකිය.
කුමාර් පොන්නම්බලම්- ඡන්ද 87,263 (40.03%)
හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 77,300 (35.46%)
ජේ. ආර්. ජයවර්ධන- ඡන්ද 44,780 (20.54%)
අගනගරයෙහි සමෘද්ධිමත් සහ දේශපාලන වශයෙන් බලගතු සුළුතර ශ්‍රී ලාංකික දෙමළ පවුලක කුමාර් පොන්නම්බලම් උපත ලදි. ඔහුගේ පියාවූ ජී. ජී. පොන්නම්බලම් යනු, කැපී පෙනුණු විත්තිවාචක නීතිඥයෙකු සහ අනෙකුත් දෙමළ දේශපාලන පක්ෂවල දෙමළ ජාතිකවාදී විලාසයට හාත්පසින්ම විරුද්ධ ලෙසින්, බහුතර සිංහල ආධිපත්‍යයක් සහිත වූ පාලක එක්සත් ජාතික පක්ෂයෙහි වරෙක මිත්‍ර පාක්ෂිකයෙක් වූ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයෙහි නායකයාද විය.
තරුණ දේශපාලනඥයෙක් ලෙසින් සිය පියාගේ දෙමළ කොංග්‍රස පක්ෂයට එක්වූ කුමාර් පොන්නම්බලම්, අත්‍යන්තයේදී එහි ජ්‍යෙෂ්ඨ නායකත්වය තෙක් ඉහළට පැමිණියේය. කෙසේ වෙතත්, ප්‍රාරම්භක ජී.ජී. පොන්නම්බලම්ගේ මරණයෙන් පසුව අබලන් වී ගිය පක්ෂයට මැතිවරණමය අනුග්‍රහයක් පමණක් ලැබුණු අතර විටෙක එවැන්නක් හෝ නොමැති විය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රජය විසින් අත්අඩංගුවට ගැනෙන තරුණයන් වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව කුමාර් අවධානයට ලක් වී තිබිණි. සිංහල සහ දෙමළ සේවාලාභින් දෙවර්ගයෙහිම ශුභසිද්ධිය තකා ඔහු සේවය ලබා දුණි. ඔහු දෙමළ ක්‍රිස්තු භක්තිකයෙක් විය. [1]
සිවිල් යුද්ධය අතරතුර, පාලක පොදු පෙරමුණට සහය පළ කිරීමේ, මධ්‍යස්ථ මතවාදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු පක්ෂ ප්‍රතිපත්තියට හාත්පසින්ම විරුද්ධ ලෙසින්, බෙදුම්වාදී සටන්කාමී කණ්ඩායමක් වෙත සහය පළ කෙරුණු, ඔහුගේ ප්‍රබල ප්‍රකාශ නිසා, ඉන්පසුව කුමාර් අවධානයට පාත්‍ර විය.
ඔහුගේ පුත්‍රයා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් යනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
එම්. තාරික්
රත්තොට අසුනට තරග කළ කවිකාරයා – පුංචි බංඩා කවිරත්න
උගත්කම හා බුද්ධිය යනු දෙකකි. මෙම චරිත දෙකම එක් පුද්ගලයකුට පිහිටන්නේ ඉතා කලාතුරකිනි. නිදහස් ශ්‍රී ලංකාවේ පැවති හයවැනි මහ මැතිවරණයෙන් ජයගෙන මාතලේ දිස්ත්‍රික්කයට අයත් රත්තොට ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පළමුවරට පිවිසුණු රත්නායක මුදියන්සේලාගෙග් පුංචි බංඩා මහතා ද එවැනි උගත් බුද්ධිමතෙකි. එතුමාගේ උපන් ගම වූයේ නිකවැරටියේ ඔබ්බොත්ගමුවය. වර්ෂ 1936 පෙබරවාරි මස 03 වැනි දින මෙම ගම්මානයේදී උපත ලැබූ මෙතුමා පාසල් යන වියට පැමිණෙත්ම ඔහු මාතලේ කයිකාවල පිරිවෙනට පැමිණ සිය අධ්‍යාපනය ආරම්භ කළේය.
අතීතයේදී ගම්බද දරුවන් පන්සල්වල පවත්වාගන ගිය පිරිවෙන්වල ඉගෙනුම ලැබීම සාමාන්‍ය සිරිත විය. පසුව මෙතුමා ද සිය මව්පියන්ගේ බලපෑම මත පාසල් යන අවධියේ සිටම පිරිවෙන් අධ්‍යාපනය ඇරඹීය. එහිදී මොහු සියලු සම මට්ටමේ සිසුන් අබිබවා සිය හැකියාවන් දක්වන්නට වූයෙන් ගුරුවරුන්ගේ අවධානය ද මොහු කෙරෙහි වඩාත් යොමු විය.
මේ අතරවාරයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයෙන් ද සමත්වූ මෙතුමා සරසවියට පිවිසුණේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමටය. මෙහිදී ඉතා සාර්ථකව අධ්‍යාපන කටයුතු නිම කළ කවිරත්න මහතා පේරාදෙණිය සාරානන්ද පිරිවෙනෙහි ගුරුවරයකු ලෙස සිය පළමු රැකියාව ආරම්භ කළේය. දක්ෂ කථිකයකු වූ කවිරත්න මහතා කාගේත් ගෞරවාදරයට ලක්වූයේ මෙම සහජ කථිකත්වය නිසාය. මේ කාලය තුළදී කවිරත්න මහතා සාහිත්‍ය පොත්පත් රැසක් ලියා ප්‍රසිද්ධ කරන ලදි. මෙතුමාගේ වැඩි අවධානය යොමු වූයේ පැරණි පොතපත කෙරෙහිය. එයට සමගාමීව නූතන සාහිත්‍යය කෙරෙහි ද කවිරත්න මහතා නැඹුරුවන්නට විය. මෙහිදී කාව්‍යකරණයට ද හෙතෙම දැක්වූයේ නොතිත් ආශාවකි.
එහි ප්‍රතිඵලය වූයේ මොහු නිර්මාණය කළ කවි පොත් රැසක්ම පාඨකයා අතට පත්වීමය. කවිරත්න මහතා නිරන්තරයෙන් විහිළුවෙන් තහළුවෙන් කටයුතු කළ අතර සිය මිතුරන් වෙනුවෙන් ද හාස්‍යය උපදවන කවි ගොතා හඬ නඟා කීය. මොහුගේ මෙම අහිංසක සතුටට කිසිවකුගෙන් බාධාවක් එල්ල නොවීය. පසුව පාර්ලිමේන්තුවේදී ද සිය කවි හඬ අවදි කළේ කවුරුත් සිනහ සයුරේ ගිල්වමිනි.
කාලයාගේ ඇවෑමෙන් මෙතුමා රත්තොට පෙදෙසින්ම විවාහයක් ද කර ගත්තේය. ඒ සංගීත ගුරුවරියක සමඟය. මොවුන් දෙදෙනාට පුතුන් දෙදෙනෙකු සිටියි . එක් පුත්‍රයෙක් වූ සංජීව කවිරත්න සිය පියාගේ අභාවය නිසා හිස් වූ රත්තොට අසුනට තරග කර ඉතා පහසු ජයක් අත්කර ගත්තේය. මේ අතරවාරයේ ලග්ගල ආසනය නියෝජනය කළ විජේරත්න බංඩා මහතාගේ දියණිය සමඟ විවාහ වූ ඔහු ද තරුණවියේදීම රෝගාතුර වී මිය ගියේය.
පී.බී. කවිරත්න මහතා පේරාදෙණිය ගම්සභාවට තරග කර එහි සභික ධුරයක් ද හිමි කර ගත් අතර පසුව පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන බිමට පිවිස 1977 වසරේදී පැවති මහමැතිවරණයේදී එවකට රත්තොට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ලෙස සේවය කළ එස්.බී. යාලේගම පරදා විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය.
අනතුරුව කවිරත්න මහතා සංස්කෘතික කටයුතු පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයකු ලෙස ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ පත්විය. මේ කාලය තුළ කවිරත්න මහතා පෙදෙසේ විශාල සංවර්ධනයක් සිදු කිරීම විශේෂත්වයක් විය. මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් මෙතුමා නිවාස යෝජනා ක්‍රමයක් ද කයිකාවල පෙදෙසේ ක්‍රියාත්මක කිරීම ද වර්තමානයේ ද කාගේත් ඇගයීමට ලක්ව ඇත. මෙයට සමගාමීව රත්තොට මැතිවරණ කොට්ඨාසයෙහි ඉඩකඩම් නොමැති පවුල් වෙනුවෙන් මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉඩම් ලබා දීමට පෙරමුණ ගත්තේ ද කවිරත්න මහතාය.
පසුව 1988 පැවති මහ මැතිවරණය සඳහා ද මෙතුමා පෙර මෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර ප්‍රතිවාදීන් සියල්ල පරදා රත්තොට මන්ත්‍රීවරයා ලෙස නැවතත් තේරී පත්විය. එමෙන්ම කවිරත්න මහතා ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි උප ඇමතිවරයා ලෙස ද සේවයේ නිරත විය.
විහිළු, තහළුවෙන් කල්ගෙවූ මෙතුමා දිනක් කාර්යාලයට පැමිණෙන විට තමන්ගේ ප්‍රබල ආධාරකරුවකු නිදි කිරා වැටෙමින් සිටිනු දැක ඇත. එවිට මෙතුමාගේ මුවින් මහ හයියෙන් පිට වූයේ Òකිරාබුදි ද බං, කිරා බුදි ද බං Ò යන්නයි. මෙහිදී එම ස්ථානයේ සිටි සියලු දෙනාම කොක්හඩලා සිනහසෙන්නට වූහ. එවිට අර නිදි කිරා වැටුණ පුද්ගලයා ද දෑස පිස දමමින් ඇහැරී බලනවිට අමාත්‍යවරයා මෙය කියා ඇත්තේ තමන්ට බව තේරුම් ගත්තේය.
මෙසේ රත්තොට මැතිවරණ කොට්ඨාසයට අමිල සේවයක් සිදුකළ පුංචි බංඩා කවිරත්න මහතා 1988 වසරේදි සඳහටම දෙනෙත් පියා ගත්තේ කවුරුත් අපේක්ෂා නොකළ ලෙස රෝගාතුරවීම නිසාය.
ඒ.ඒ.එල්. ඩයස්