Home » රනිල් මාස තුනෙන් රටේ ප්‍රශ්න ඔක්කොම විසඳුවා

රනිල් මාස තුනෙන් රටේ ප්‍රශ්න ඔක්කොම විසඳුවා

-රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර

by sachintha
September 2, 2024 1:38 am 0 comment

දස දෙනෙකුගෙන් ඇහුවොත් අට දෙනෙක්ම කියන්නේ ඡන්දය දෙන්නේ ජනාධිපතිතුමාට කියලා

-රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් අතරින් ප්‍රායෝගික හා යථාර්ථවාදී ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරනු ලබන්නේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවත් එය සුරංගනා කතා පොතක් නොව මහ පොළොවේ ක්‍රියාත්මක කළභැකි සැලසුම්සහගත වැඩසටහනක් බවත් රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය. ජනාධිපතිතුමන්ට සහාය දැක්වීමට කුරුවිට, එරත්න, කටුතියබරාවත්ත විහාරස්ථානයේ පැවති රැස්වීමකදී රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය.

“රත්නපුරෙන් ඡන්ද 465,000ක් ලබා ගනිමින් අප පසුගිය මැතිවරණයට ශක්තියක් වුණා. මෙවර ලක්ෂ පහකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම එසේ පවසන්නේ හේතුවක් ඇතිවයි. එදා ඔබ මේ රට බාර ගත්තේ සැතපුම් ගණන් ගෑස්, ඉන්ධන පෝලිම් තියෙන අවස්ථාවකයි. පැය 13කට වැඩිය විදුලිය කප්පාදුවක් කළ අවධියකයි. ඔබතුමා මේ රටේ වගකීම අරගෙන මාස තුනෙන් ඒ ප්‍රශ්න සියල්ල විසඳුවා. රත්නපුර ජනතාව ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් අත්වැල් බැඳගෙන සිටින්නේ ඒ නිසයි.

අද මේ ප්‍රදේශයේ දස දෙනෙකුගෙන් ඇහුවොත් අට දෙනෙක්ම කියන්නේ තමන්ගේ ඡන්දය ලබා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මැතිවරණයේදී වඩාත් ප්‍රායෝගික හා යථාර්ථවාදී ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනගත කරලා තියෙනවා. ඔබතුමා නියම ස්වාධීන අපේක්ෂකයකු ලෙස රටේ ජනතාවගේ හදවතේ තිබෙන සලකුණක් මැතිවරණ සලකුණ ලෙස තෝරා ගත්තා. ගෑස් සිලින්ඩරය මිස වෙනත් සලකුණක් මෙවර මැතිවරණ සටනට සුදුසු වන්නේ නැහැ. ඒ අමතක නොවන සලකුණින් ඔබතුමා ජයග්‍රහණය කරවන්න මේ ජනතාව කටයුතු කරන බව මම ප්‍රකාශ කරනවා” යැයි වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

කහවත්ත – නිරෝෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT