“ගමට සංවර්ධනය මෙන්ම මිනිස්සු අතට සල්ලි යන වැඩපිළිවෙළක් අපි ඇති කරනවා. එමෙන්ම රාජ්‍ය සේවය ඩිජිටල් කරන වැඩපිළිවෙළක්ද ඇති කරනවා” යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර ආසනයේ නව සංවිධායක හිටපු නාගරික මන්ත්‍රී යොහාන් වඩුගේ මහතා විසින් පසුගිය දා (29) සංවිධානය කළ උතුරු කළුතර දුම්රියපොළ අසල ක්‍රීඩාංගණයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක් වූ නාමල් රාජපක්ෂ මහතා.
“අපි අභියෝගවලට බය වෙන අය නොවෙයි. එල්ටීටීඊ සංවිධානයෙන් රටේ ජාතික ආරක්ෂාවට එල්ලවුණු අභියෝගය, රට සංවර්ධනය කිරීමේ අභියෝගය, කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගන්නා අභියෝගය ජය ගත්තා වගේම මේ ජනාධිපතිවරණයත් අපි ජයග්‍රහණය කරනවා. අපි මේ රටේ ජනතාවටත්, මහ පොළොවටත් ආදරය කරන මිනිස්සු. කෙතරම් අවාසි වුණත් රටට, ජනතාවට, ආගමට, හානි වන තීන්දු ගන්න අපි සූදානම් නැහැ. පසුගිය පාලන කාලයේ පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය, අරගලය ආදියට අපි මුහුණ දුන්නා. අපි රටේ ජනතාවට කන්න නැතුව මැරෙන්න දීලා බලා සිටියේ නැහැ.
අවශ්‍ය පවුල් සඳහා රුපියල් 5000/ ගාණේ පස් වතාවක් දුන්නා. කොවිඩ් එන්නත ගෙනල්ලා ජනතාව බේරා ගත්තා. ඒ එන්නත පස් වතාවක් විද ගත්තු අයත් ඉන්නවා. බංග්ලාදේශය වගේ එදා ගෝඨාභය ආණ්ඩුව වැට්ටුවේත් කුමන්ත්‍රණයකින්. ඒත් අපි රාජ්‍ය බේරා ගත්තා. මේ පාර අපි අරගලයට බය වෙලා යනවද? දේශීය ආර්ථිකයක් කරා යෑමට ක්‍රියා කරනවාද? කියා තීරණය කළ යුතුයි. අප හදන රට තුළ ගමට සල්ලි යන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මිනිස්සු අතට සල්ලි යන්න ඕන. මිනිස්සු පොහොසත් වෙන්න ඕන. ආයෝජන ගෙනල්ලා රැකියා උත්පාදනය වෙන්න ඕන. ඊළඟ වසර 10 තුළ අප රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන වැඩපිළිවෙළක් අපි සකස් කර තිබෙනවා. මගීන් 50 දාහකට සේවා සැපයිය හැකි ආකාරයට අපේ ගුවන් තොටුපොළවල් සංවර්ධනය කළ යුතුයි. වසර 15ක් තුළ මගීන් 80 දාහකට සේවා සැපයිය හැකි ආකාරයට ඒවා දියුණු කළ යුතුයි. කළුතර සංචාරක කේන්ද්‍රයක් බවට අප පත් කරනවා. අප රාජ්‍ය සේවයට තාක්ෂණය හඳුන්වාදී තිබියදී ජනතාව පාස්පෝට් ගන්න දවස් ගණන් පෝලිම්වල ඉන්නවා. ආණ්ඩු වෙනස් වුණාට ප්‍රතිපත්ති වෙනස් වෙන්න බැහැ. සියලුම රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීමට අප කටයුතු කරනවා. මේ මාතෘ භූමිය දියුණු රටක් බවට පත් කර ගැනීම සඳහා සැප්තැම්බර් 21 වැනිදා නැවතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අවස්ථාව ලබා දෙන ලෙස අප ඉල්ලා සිටිනවා.”
කළුතර – සුනිල් එස්. තන්ත්‍රිආරච්චි