දිවයිනේ සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුගේ දියණියකට අයත් කුරුඳුවත්ත ග්‍රීන් පාත් ප්‍රදේශයේ පිහිටි නිවෙසකින් රුපියල් දහසයලක්ෂ අනූදෙදහසක් වටිනා අත් බෑග් තොගයක්, දියමන්ති මාලයක්, ජංගම දුරකතන දෙකක් සොරාගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
52 හැවිරිදි සැකකරු වයස අවුරුදු 13 සිට දේපොළ කොල්ලකෑමට පුරුදුව සිටි පුද්ගලයකු බවත්, දේපොළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් වසර 13ක සිර දඬුවමක් විඳ පැමිණි අයකු බවත් පොලිසිය කියයි. ඉකුත් අගෝස්තු මස 10 වැනිදා දහවල් කුරුඳුවත්ත ග්‍රීන් පාත් ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවෙසකට ඇතුළු වී එහි ඉහළ මාලයේ කාමර දෙකක තිබූ රුපියල් ලක්ෂ දෙකත් – තුනත් අතර වටිනා කාන්තා අත් බෑග් 6ක්, අයි ෆෝන් 2ක් සහ දියමන්ති මාලයක් සොරාගෙන ගොස් තිබුණි.
මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විමර්ශනයක් සිදුකරන අතරතුරදී කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්.ආර්. අඹේපිටිය මහතාගේ උපදෙස් මත කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් ද විමර්ශනයක් ආරම්භ කරන ලදි.
එහිදී එම ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කර සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී, සොරාගත් අත් බෑග් 5 අලුත්කඩේ ප්‍රදේශයටත්, රන් මාලය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයකුටත් විකුණා තිබියදී සොයාගත් අතර, රුපියල් ලක්ෂ දෙකක් වටිනා අත් බෑගයක් රුපියල් 4,000ටත්, ලක්ෂ ගණනක දියමන්ති මාලය රුපියල් 30,000ටත් විකුණා තිබූ බව පැවසේ. ජංගම දුරකතන දෙක රු. 18,000ට විකුණා ඇති අතර, එම දුරකතන දෙක සොයා විමර්ශන පැවැත්වේ.
මෙම සැකකරුට ස්ථීර නිවහනක් නොමැති අතර, ජීවිත කාලයෙන් වැඩි කාලයක් බන්ධනාගාරගතව සිට තිබේ. දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති රාජු බායි මිහිරාත් නමින් හඳුන්වන 52 හැවිරිදි සැකකරු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කුරුඳුවත්ත පොලිසියට භාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්.ආර්. අඹේපිටිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ දකුණු 01 භාර සහකාර පොලිස් අධිකාරී ඒ.ජී.වයි.එස්. කීර්තිසිංහ මහතාගේ නියෝග හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශෙහාන් ආනන්ද මහතාගේ උපදෙස් මත පො.සැ (68039) මාලිංග, පොලිස් කොස්තාපල්වරුන් වන (89241) ජගත්, (92340) ප්‍රේමරත්න, (96631) තුශාන්තන්, (91643) මනෝජ්, (26024) කුමාර, (35676) අවිශ්ක, (36597) මදුසංක, (103171) ගම්ලත්, (104928) ඉශාර, කා.පො.කො (11522) චතුරිකා, (11868) සංජීවනී, පො.කො.රි. (99023) වර්ණකුලසූරිය ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.
කොට්ටාව – ප්‍රදීප් කුමාර