ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළසේනාවේ අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශුරතාවලිය ඉකුත් අගෝස්තු මස 26 දින සිට දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර, පුරා දින 3ක් පැවති මෙම තරගාවලිය පසුගියදා 28 වැනි දින ඉතා සාර්ථකව අවසන් කරන ලදි.
දීර්ඝ ක්‍රීඩා ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළසේනාව මඟින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්රයට දායාද කර ඇති අතර, ඔලිම්පික් පදක්කම්ලාභීන් මෙන්ම ජාත්‍යන්තර තරග නියෝජනය කරමින් පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද බිහිවී ඇත. ස්වේච්ඡා බළසේනාවට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍යය නගාසිටුවීමට හා ඒ තුළින් අති දක්ෂයන් බිහිකිරීම අරමුණු කරගනිමින් පැවති මෙම ක්‍රීඩා තරගාවලිය සඳහා ස්වේච්ඡා බළසේනාවට අයත් බළඇණි 21ක 300කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජවන හා පිටිය තරග ඉසව් සඳහා තරග වැදුණි. මෙහිදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නියෝජිතයන්ගේ අධීක්ෂණය යටතේ එම තරගාවලිය පැවැත්වීමට කටයුතු කරන ලදි.
තරගාවලියේ අවසාන සමාප්ති උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා හමුදා ස්වේච්ඡා බළසේනාවේ සේනා විධායක මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර එක්වූ අතර, එහිදී තරගාවලියේ කැපීපෙනෙන දක්ෂතා දක්වමින් සමස්ත පිරිමි ශූරතාව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික බළකාය හා සමස්ත කාන්තා ශූරතාව 2 (සෙව්) කාන්තා බළකාය දිනා ගැනීමට සමත් විය. ඔවුන් සඳහා ශුරතාව පිරිනැමීම ද ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදුකරන ලදි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදා සේවා බළකායේ සාමාන්‍ය සෙබළ කේ.එන්.පී. මල්ශාන් හා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස 2 කාන්තා බළකායේ සැරයන් ඩබ්.ආර්.ටී. සුගන්ධි සම්මාන හිමි කරගත්තේය. තවද මෙහිදී 2024 වර්ෂයේ හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ දිල්ෂානි ලේකම්ගේ ක්‍රීඩිකාව ඇගයීමට ලක් කරමින් ස්වේච්ඡා බළසේනාව වෙතින් මූල්‍ය ත්‍යාගයක් පිරිනැමිණි. මේ අවස්ථාව සඳහා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සෙසු නිලයන් දරන නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
චිත්‍රාරත්න කළුආරච්චි*