කොළඹ, ශ්‍රී ලංකාව – MAS Holdings ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුවේ නිල ඇඟලුම් සහකරු ලෙස 2024 අගෝස්තු 14 වන දින පැවති නිල එළිදැක්වීමේ හා නිල ඇඟලුම් කට්ටලය භාරදීමේ උත්සවයේදී ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව 2024 පැරාලිම්පික් තරගාවලිය සඳහා තරඟ වදින සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ධාවන, පිහිනුම් සහ රෝද පුටු ටෙනිස් යනාදී ක්‍රීඩා සඳහා වන ක්‍රීඩා ඇඟලුම් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උත්සව ඇඟලුම් MAS Holdings විසින් ලබාදීමට නියමිතය. විශේෂ අවශ්‍යතාවන් සහිත පුද්ගලයින් මුහුණදෙන දුෂ්කරතාවයන් මනාව හඳුනා ගනිමින් MAS ස්වාධීනව ඇඳුම් ඇඳගැනීමට හැකි ආකාරයේ නවතම නිෂ්පාදනයන් පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන සිදු කරමින් 2019 වසරේදී අනුවර්තනීය ඇඟලුම් (Adaptive Apparel) හඳුන්වා දෙන ලදී.
ප්‍රථම වරට 2021 වසරේදී ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුව සමඟ එක් වූ MAS ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම්, තෝරා ගැනීම් තරඟ සඳහා මෙන්ම දේශීය හා ජාත්‍යන්තර තරඟ සඳහා වන සාමාන්‍ය ඇඟලුම් සහ කාර්යසාධන ඇඟලුම් සපයනු ලබයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ MAS Holdings හි ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතා “වසර ගණාවක් පුරා ශ්‍රී ලාංකේය පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ජාත්‍යන්තර තරගයන්හිදී අපගේ සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. ඔවුන් දක්වා ඇති දස්කම් තුළින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දීමට හැකි වී තිබෙනවා. අපගේ මෙම අඛණ්ඩ සහයෝගය තුළින් ඔවුන්ට ඔවුන්ගේ උපරිම දක්ෂතාවන් දැක්වීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා” යනුවෙන් පවසා සිටින ලදී.
මෙහිදී අදහස් දැක්වූ ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත් මහතා සඳහන් කර සිටියේ “ MAS Holdings සමඟ වන මෙම සබඳතාව අපිට මහත් අස්වැසිල්ලක් වන අතරම ඒ තුළින් ජාත්‍යන්තර තරඟකරුවන් හා සමානව අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ඔවුන්ගේ තරඟ සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ ඇඟලුම් ලබාගැනීමට හැකි වී තිබෙනවා. එසේම අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම සඳහා මෙම හවුල්කාරීත්වය සුවිසල් හේතුවක් වනු ඇතැයි අපගේ විශ්වාසයයි” යනුවෙනි.