Saturday, May 10, 2025
Home » කඳ සුරිඳුන්ගේ අපේක්ෂාව

කඳ සුරිඳුන්ගේ අපේක්ෂාව

by sachintha
September 3, 2024 1:00 am 0 comment

කතරගම දේවාලය දැන් ගමන යන්නේ, දැනගෙනය. මීට පෙර යුගයේදී නොදැන ගිය හෙයින් අතරමඟ රැඳුණු කතරගම, මේ ආකාරයට සුමඟට ගත් එහි බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර වෙත කෘතඥ වෙමින් මේ තීරුව ආරම්භ කිරීමට කැමැත්තෙමු.

පෙර සමයේ කතරගම දේවාලයේ ආදායම ගලා ගිය ආකාරය බලා ගැනීම සඳහා කපුවන්ගේ සහ හිටපු සමහරක් බස්නායක නිලමෙලාගේ ගෙවල් දොරවල්, බැංකු ගිණුම් ආදිය දැක බලා ගැනීම සෑහේය. කපුරාලලාගෙන් සෑහෙන පිරිසක් බස් නායකලා වී සිටියේ ‘දේවාලයේ’ පඬුරු පාක්කුඩම් ආදියෙන් ලැබෙන ආදායමෙන් බස් සේවා පවත්වාගෙන යෑම නිසාය. ඒ අර්ථයෙන් ඔවුහු බස් නායක, කඩ නායක, ඉඩම් නායක වැනි තානාන්තර සඳහා ළඟා වී ඇත්තේය.

කතරගම වැඩ වාසය කරන මහාසේන දේවතාවෝ, මේ සියල්ල බලාගෙන අයින් ගසාගෙන සිටින්නේ දැයි වන්දනාවේ යන අප වෙත කාලාන්තරයක් තිස්සේ ප්‍රශ්නයක්ව තිබුණේය. ඒ සියලු අකටයුතුකම්, මසැසින් දකින අප වෙත සිහි වූවේ, කපු දනෝ මේ ආකාරයට දේවාලය සඳහා ලැබෙන පුද පඬුරු ගෙදර ගෙන ගොස්, සිය පුද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම උන් වහන්සේගේ දිවැසට නොපෙනේද යන්නය. අපගේ ඇස් පනාපිට සිදුවන දේ දකිනා විට, දෙවියනි ඔබ කොහේද? යැයි අපගේ සිත නිතර ප්‍රශ්න කළේය. කතරගම දේව අඩවිය පිළිබඳව අප වෙත ඇති භක්තිය හේතුවෙන් ඒවා ප්‍රශ්න ලෙස හිතේ තබාගත්තා මිස ඉන් එහාට ඒ ගැන වචනයක් හෝ අපි කතා නොකෙළෙමු. එසේ නිහඬ වෘතය සඳහා බැතිමත්හු සම වැදී සිටිම, කපු සේනාව කොල්ලය සඳහා තවත් දිරිමත් කළහ.

කිරිවෙ‍ෙහර නම් බුද්ධ රාජ ශ්‍රී පාද ස්පර්ශිත භූමිය කතරගම වන්දනාවේ උපතය. අද නොයෙක් ආකාරයට මේ භූමිය සහ එහි වන්දනාව සම්බන්ධයෙන් මිත්‍යා කතා ගොඩනඟා ඇත්තේ මුත්, බුදු රජාණන් වහන්සේගේ වැඩම වීම නොවන්නට ඔය ප්‍රදේශය තවම කැලෑවකි. නැතිනම් කර්මාන්තපුරයක් වැනි කලාපයකි. ක්‍රි.පූ. 580 සමයේදී තථාගතයන් වහන්සේගේ තුන්වන ලංකාගමනයේදී කතරගම ප්‍රදේශයට උන්වහන්සේ වැඩම කළ සේක. මේ භද්‍ර කල්පයේ පහළවූ සියලු බුදුවරු කතරගම ප්‍රදේශයට වැඩම කර ඇත්තාහ. එම සිරිත් පරිදි ගෞතම බුදු රජාණන්වහන්සේ ද කතරගමට වැඩිසේක. මේ කාලයේ කතරගම උද්‍යානය පාලනය කළ මහාසේන නම් රජු, බුදුන්වහන්සේ මුණගැසී බුද්ධ දේශනාව සඳහා සවන් දුන්හ. එයින්ම සෝවාන් ඵලයට පත්ව අද කදිරපුරයට අධිගෘහිතව සිටින්නේ උන්වහන්සේය. කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකර ඇත්තේ එදා බුදුහු එසේ ධර්ම දේශනා කළ ස්ථානයේය. උන්වහන්සේ පරිවාර මහ රහත්හු සමඟ කතරගම ප්‍රදේශයේ සමවත් සුවයෙන් කල් ගත කළහ.

දැනට හමුවී ඇති පුරාවිද්‍යා සාක්ෂිවලට අනුව, කිරිවෙහෙර ගොඩනංවන ලද්දේ ක්‍රි.පූ.1 වන සියවසේදී පමණය. පසුව මහාසේන රජතුමා වත්මන් තත්ත්වයට එය ප්‍රතිසංස්කරණය කර තිබේ. එදා කජරගාම රාජමහා වෙහෙරෙහි මංගල මහාසෑය නමින් ප්‍රචලිත වූ භූමියේ කතරගම මහ දේවාලය ඉදිවන්නේ සාමන්ත පාලක තත්ත්වයේ සිට, බුදුන් හමුවේ බණ අසා සෝවාන් වූ මහාසේන දේවතාවුන් වහන්සේ වෙත ගෞරව දැක්වීම පිණිසය. ඒ ආකාරයට කුසල් දහම්හි නිරත වෙන දනා වෙත කතරගම දේව පිහිට ලැබෙන්නේය. වසරක් පාසා කතරගම යන සිරිත් ඇති පිරිසක් අප අතර වෙත්. තව පිරිසක් දෙසැම්බර් තිස් එක රෑ කතරගම කිරිවෙහෙර මළුවේ ගත කර නව වසර උදාව ද ගත කරන්නේ ඒ පුණ්‍ය භූමියේය.

මෙවන් අසිරිමත් පින් බිමක් මධ්‍යයේ කපු සේනාවක් කළ කී දෑ සඳහා අපට ප්‍රතිකර්මයක් නොවූහ. ඒ සල්ලි මැණික් ගඟේ යන්නා සේ, කිසිදු ජන මෙහෙවරකට නොදා කපුවන්ගේ මඩිස්සලය වෙතම වසර ගණනාවක් ගියේය. ගාණ බෙදා ගැනීම සඳහා කපු පිරිස් අතර තරගයකි. ඒවා ද කල්ලි බෙදී ඇත. මේ ආකාරයට දේව පාමුල සිටම සිදු කරන ප්‍රෝඩාව නැවතුණේම නැත. කතරගමට පත්වූ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර ඒ සියල්ල එක් මොහොතින් දවා හළු කළේය.

රන් තැටිය යනු ‘කපු කොල්ලයේ’ එක් කතාවක් පමණය. පවුම් තිස්අටක රන් තැටියක්, බාරයක් වෙනුවෙන් පූජා කරන ආකාරය දකින කපුවා සිතනු ඇත්තේ දෙවි හාමුදුරුවෝ තමන්ට ‘වහලේ උළු ගලවා දෙනවා’ කියා විය යුතුය. ඔහොම එකක් දෙකක් මාසයකට ලැබෙනවා කියන්නේ කපු සංහතියම ගොඩය. ඒ වෙනුවට පිත්තල තැටියක් තබා, රන් තැටිය පැහැර ගෙන ගිය කපුවෝ දැන් සිටින්නේ නීතිය ඉදිරිපිටය.

එදා කාසි පඬුරු වට්ටියට තබා කපුවාගේ ගතමනාව සඳහා ලබාදුන් හෙයින් මේ ආකාරයට ගෙදර ගෙන යෑමට හැකියාව ලැබුණි. ඒ යුගය නිමා කර ජනතා මුදල් විගණනය කර කතරගම දේවාල අරමුදල සඳහා බැර කරන මාවත තනනු ලැබුවේ වත්මන් බස්නායක නිලමේය. එසේ ලැබුණු මුදලින් මහරගම අපේක්ෂා රෝහල සඳහා වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීම ආරම්භ කරන්නේ මීට මාස එකොළහකට පෙරය.

කපුවන් අතට නොදී පෙට්ටියට දැමූ පඬුරු ආදායමෙන් රු.කෝටි දහසයක් මේ සඳහා ලබාගෙන තිබුණි. මෙතුවක් කල් කපුවන් ගෙදර ගෙන ගිය සල්ලි ගෝණි කන්දරාව ඔය ආකාරයට මහජන සුබසෙත සඳහා බැර කළේ නම්, අද ලංකාවේ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්නේ කතරගම දේවාල අරමුදල මඟිනි.

ඉදිකරන ලද සිව් මහල් ගොඩනැඟිල්ලේ, මහල් දෙකක, රෝගී දරුවන් 76 දෙනකුට අවශ්‍ය සුවපහසු ඇඳන්, නවීන සනීපාරක්ෂක උපකරණ සහිත වැසිකිළි කැසිකිළි පහසුකම්, දරුවන්ගේ මවුපියන් සඳහා වැසිකිළි කැසිකිළි පහසුකම්, රෝගී දරුවන් රැකබලා ගන්නා මවුවරුන්ට නිදාගැනීම සඳහා විශේෂ ඇඳන් ද ස්ථාපිත කර ඇත්තේය.

මෙහි ප්‍රතිකාර ලබන්නේ දරුවෝය. ඒ මල් කැකුළු වන් සිත්, රෝගය සඳහා යටවී සිටිය ද ඔවුහු ද අනෙක් ළමා කැල මෙන්ම දඟකාර, සෙල්ලක්කාරය. හැම ආහාරයක්ම ගන්නේ නැත. අවශ්‍ය ආහාර, ඒ පරිදි සකසා දීම සඳහා, මවුවරුන්ට අවශ්‍ය ආකාරයේ, විශේෂ මුළුතැන්ගෙයක් ද නවීන තාක්ෂණයෙන් සමන්විත පරිගණකගත කළ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, කුඩා ළමා උයනක් ද මෙහි ඇත.

දරුවන් සිව් දෙනකුට එකවර ඇටමිදුළු බද්ධ කිරීමේ ප්‍රතිකර්ම සිදුකළ හැකි ශල්‍යාගාර හතරක් ද මෙහි පිහිටුවා තිබේ. ප්‍රතිකාර ලබන දරුවන් පිරිසකගේම අතින් මෙම වාට්ටු සංකීර්ණය අද දින විවෘත වන්නේය.

එවන් මහා සත්කාරයක් සඳහා දායක වන්නේ කතරගම මහාසේන දෙව් වෙතින් මිනිසුන් වෙත ලැබෙන පිහිට හෙයින්, ඒ කුසල් පළමු කොට උන්වහන්සේටත්, කපුවන් නම් හොර රැලෙන් කතරගමට ලැබෙන මුදල් බේරා ගෙන, මෙවන් මහජන සේවයක් සඳහා කැපවීමක් කළ වත්මන් බස්නායක නිලමේ වෙතද මේ තීරුව පුණ්‍යානුමෝදනා කරන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT