විදේශ රැකියාවක් සඳහා ගිය තරුණයකු එම සිහිනය බොඳව නැවත දිවයිනට පැමිණීමෙන් පසු දැඩි ලෙස කලකිරීමට පත්ව සිය නිවෙසේදී ගෙල වැලලාගෙන මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය ඊයේ (02) පැවසීය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම නාගුර් මස්ජීද් මාවතේ පදිංචිව සිටි 23 හැවිරිදි මොහොමඩ් හසාම් මොහොමඩ් අම්ජීත් නමැති තරුණයකු බව පොලිසිය පවසයි.
මෙම තරුණයා කටාර් රාජ්‍යයේ විදේශ රැකියාව සඳහා පිටත්ව ගොස් ඇත්තේ මිතුරන්ට හා ඥාතින්ට රුපියල් ලක්ෂ අටකට ආසන්න මුදලක් ණය වී බව පවසයි.
කෙසේ නමුත් එසේ ණය වී විදේශ රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇතත් එහිදී තමන්ට නිසි රැකියාවක් නොලැබීම හේතුවෙන් විදෙස්ගතවූ රටෙහි අසරණ වී සිටියදී මවුපියන්ද දහඅත ණය වී මෙම තරුණයාව දිවයිනට ගෙන්වා ගෙන ඇති බව පොලිසිය පවසයි.
එහිදි තරුණයා විදෙස්ගත වීමට හා නැවත ගෙන්වා ගැනීමට රුපියල් ලක්ෂ එකොළහකට ආසන්න මුදලක් වැය වී ඇති බවත් එය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් දැඩි ලෙස කනස්සල්ලෙන් සිට ඇති බව පවුලේ ඥාතීන් පවසයි.
එසේ සිටි තරුණයා නිදා ගැනීමට යන බව පවසා නිවෙසේ ඔහුගේ කාමරය තුළට වී ගෙල වැලලාගෙන සිය දිවි නසා ගෙන ඇත.
තම පුතු දිගු නින්දක සිටීම ගැන මව විපරම් කර ඇති අතර දොරගුළු ලා කතා නොකර සිටීම ගැන සැක සිතී දොරගුළු කඩා දමා බලන විට කාමරයේ බාල්කයක එල්ලී සිය දිවි නසා ගෙන සිට ඇති බව පොලිසිය පවසයි.
එල්ලී සිටි තරුණයා පියා හා ප්‍රදේශවාසින් එක්වී ලිහා පුත්තලම මූලික රෝහලට රැගෙන ගොස් තිබුණද ඒ වනවිටත් මරණයට පත්ව සිටි බව වෛද්‍යවරුන් නිගමනය කර තිබේ.
අදාළ සිද්ධිය වූ නිවෙසට පැමිණි පුත්තලම හදිසි මරණ පරීක්ෂක බදුර්දින් හිසාම් මහතා මෙම මරණය සම්බන්ධව ස්ථානීය පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ නිලධාරිවරයාට යොමු කිරීමට පොලිසියට දැනුම් දී තිබුණි.
සිද්ධිය සම්බන්ධව පුත්තලම මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
පුත්තලම අතිරේක
හිරාන් ප්‍රියංකර ජයසිංහ