Thursday, May 8, 2025
Home » රනිල් සමඟ රට දිනවන වසර පහක්
පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශනය

රනිල් සමඟ රට දිනවන වසර පහක්

by sachintha
September 3, 2024 1:14 am 0 comment

ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අවසන් කොටස අද පළවේ.

රාජ්‍ය සේවයට ඉර සේවය

2025 පාදක වසර ලෙස සලකා සියලුම රජයේ සේවකයන්ට (සෑම වසර තුනකට වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දීමනාව මාසිකව රු. 25,000/-ක් ගෙවනවා.

රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩි කර, ජීවන වියදම් දීමනාව සමඟ දළ වැටුප රු. 55,000/-ක් ලෙස සලකා අනෙකුත් සියලුම තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගළපනවා.

වයස අවුරුදු 40ට අඩු රාජ්‍ය සේවක සේවිකාවන්ට සේවා කාර්යක්ෂමතාව වැඩිදියුණු කරලීමට ඉවහල් වන පාඨමාලා හැදෑරීම සඳහා වසරක පඩි සහිත නිවාඩු ලබා දෙනවා.

රාජ්‍ය ප්‍රතිපත්ති හා පරිපාලන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරනවා.

කුසලතාව මත පදනම් වූ උසස්වීම් ක්‍රමවේදයක් සකසනවා.

මුළුමහත් රාජ්‍ය සේවයම ඩිජිටල්කරණයට පරිවර්තනය කර, වඩාත් කාර්යක්ෂම සහ විධිමත් තලයකට ඔසවා තැබීමට පියවර ගන්නවා. ඊට සහායක් වනු පිණිස ලැප්ටොප්, ටැබ්, ස්මාර්ට් දුරකතන රාජ්‍ය සේවකයන්ට සහන පදනම මත ලබා දෙනවා.

රජයේ නව නිවාස වැඩපිළිවෙළේදී නිවාස හිමිකම් නොමැති රජයේ සේවකයන්ට ප්‍රමුඛත්වය ලබා දෙනවා.

ආර්ථිකය ශක්තිමත් වෙද්දී ඊට අනුකූලව ආපදා ණය මුදල ඉහළ නැංවීමටත්, දේපළ හා නිවාස ණය යළි ලබා දීමටත් කටයුතු කරනවා.

නි‍වෙසේ සිට රාජකාරි ඉටු කළ හැකි සේවාවන් නි‍වෙසේ සිට ඉටු කිරීමට අවසර ලබා දෙනවා. නිශ්චිත හා විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් හඳුන්වා දෙනවා.

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නවා.

2025 වසරේ මේ කාර්යයන් සඳහා මුලපුරනවා.

ලබන වසරේ අලුත් රස්සා ලක්ෂයක්…!

අපේ ආර්ථික පිළිවෙත නිසා අනාගතයේ දේශීය හා විදේශීය ආයෝජන හමුවේ වැඩි වැඩියෙන් නව ව්‍යවසාය බිහි වී රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය වනවා. ඒ තත්ත්වය උදා වීමට වසරක, දෙකක කාලයක් ගතවන බැවින් ආරම්භයක් හැටියට 2025 වසර තුළ රැකියා 100,000ක් ලබා දෙන්නේ මෙන්න මෙහෙමයි.

• විදේශ රාජ්‍යයන් මඟින් සහාය ලබා දෙන සංවර්ධන ව්‍යාපෘති පසුගිය කාලයේ අත්හිටුවා තිබුණා. අපේ බංකොලොත්භාවය නැතිව ගොස් ඇති නිසා ඒ ව්‍යාපෘති දැන් යළිත් ආරම්භ වෙනවා. මේ බොහොමයක් ව්‍යාපෘති ඉදි කිරීමේ කර්මාන්තය හා බැඳුණු ඒවායි. ව්‍යාපෘති ආරම්භයත් සමඟ නව රැකියා අවස්ථාවන් ගණනාවක් නිර්මාණය වෙනවා.

• සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් ඔබ්බට අධ්‍යාපනය ලබන්න අවසර නොලැබෙන තරුණ තරුණියන් වෙනුවෙන් සංචාරක, නිෂ්පාදන කර්මාන්ත ආදි පුද්ගලික අංශය හා එක්ව නව වැඩපිළිවෙළක් 2025 වසරේ ආරම්භ කරනවා. මේ තරුණ තරුණියන්ට ඒ ආයතනවල වෘත්තීය පුහුණුව ලබා දෙන අතර, පුරා වසරක් තිස්සේ ඔවුන්ට රජයෙන් රුපියල් 35,000ක දීමනාවක් දෙනවා. පුද්ගලික සමාගම්වල කැමැත්ත පරිදි ඔවුන්ට තවත් මුදලක් මීට එක් කරන්නත් අවකාශ තියෙනවා. පුහුණුවෙන් පසු ඔවුන්ට ඒ ඒ සමාගම්වලම රැකියා අවස්ථා හිමි කර දෙනවා.

• සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ලබා දෙන සහන ණය හේතුවෙන් රට පුරා නව රැකියා අවස්ථා බිහි වෙමින් පවතිනවා. විරැකියාවෙන් පෙළෙන අයට රැකියා ලබා ගැනීමට එයත් කදිම අවස්ථාවක්.

• කෘෂි නවීකරණය නිසා 2025 සිට 2027 කාලය පුරා නව රැකියා අවස්ථාවන් විශාල වශයෙන් බිහි වෙනවා.

• මීට අමතරව රජයේ සේවයේ විශ්‍රාම ගැනීමෙන් ඇති වන පුරප්පාඩුවලින් තවත් රැකියා අවස්ථා ඇති වෙනවා.

රට රස්සා

අපේ රටට වර්තමානයේ විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ විදේශ ශ්‍රමිකයන්. ඔවුන් වෙනුවෙන් පහසුකම් රැසක් සම්පාදනය කරලීම උදෙසා විදේශ රැකියා කාර්යාංශ පනත සංශෝධනය කිරීමේ කාර්යයන් දැන් ක්‍රියාත්මකයි. මේ නව පනත යටතේ විදේශ ශ්‍රමිකයන්ට නිවාස යෝජනා ක්‍රම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, තීරු බදු සහන ආදි පහසුකම් රැසක් ලැබෙනවා.

එසේම විදේශ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීමට පියවර ගන්නවා. විදේශ වෙළෙඳපොළ පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා.

විදේශයන්හි වැඩිහිටියන් රැකබලාගැනීම, දාරක සුරැකුම් සේවාවන්හි රැකියා අවස්ථා බහුලයි. ඒ ක්ෂේත්‍රයන්ට යෑමට කැමති තරුණ තරුණියන් අදාළ භාෂා ප්‍රවීණතාව සමඟ පුහුණු කරනවා.

2025 වසරේ මේ වැඩපිළිවෙළට මුලපුරනවා.

අවිධිමත් ශ්‍රම වෙළෙඳපොළ

විශාල පිරිසක් අවිධිමත් ශ්‍රම වෙළෙඳපොළේ රැකියා කරනවා. ත්‍රිරෝද රථ රියැදුරන්, පුද්ගලික බස් සේවකයන්, නාට්ටාමිවරුන්, තෙරපිවරියන්, පවිත්‍රතා සේවක සේවිකාවන් ආදි ක්ෂේත්‍ර ගණනාවක් මීට අයත් වෙනවා. මේ සියලු දෙනා වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුපක් සහ සමාජ ආරක්ෂණයක් 2025 වසරේ හඳුන්වා දෙනවා. ඔවුන් සියලු දෙනාට වෘත්තීය ගරුත්වයක් ලබා දීම උදෙසා ප්‍රමිතිගත පුහුණුවක් ලබා දෙනවා. තෙරපිවරියන් සඳහා NVQ4 සහතිකය ලබා දීමේ පාඨමාලා දැනටමත් ආරම්භ කර තියෙනවා. ත්‍රිරෝද රථ රියැදුරන් බොහෝ දෙනෙකු ණය බරින් පීඩා විඳිනවා. ණය ආපසු ගෙවීම් අතපසු වූවන්ට ඒ ණය ගෙවීම් ප්‍රතිව්‍යූහගත කරලීම උදෙසා රාජ්‍ය බැංකු මඟින් අවස්ථා ලබා දෙනවා. පුද්ගලික බැංකු සමඟද සාකච්ඡා කර, මේ සහනය ලබා දීමට අප පියවර ගන්නවා.

රට රැකීම

ත්‍රිවිධ හමුදාවල තත්ත්වය නඟාසිටුවීම සහ රටේ ආරක්ෂාව ස්ථාවර කරලීම උදෙසා ආරක්ෂක විධිවිධාන (විශේෂ) පනත මේ වන විට සකස් කර අවසන්.

2030ට සරිලන අයුරින් ආරක්ෂක හමුදා නවීකරණය කරලීමේ කමිටු වාර්තාව දැන් අප වෙත ලැබී තියෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කරනවා.

රණවිරුවන් සඳහා ‘එක් නිලයක් – එක් විශ්‍රාම වැටුපක්’ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා. මෙමඟින් රණවිරු විශ්‍රාම වැටුප් අතර ඇති විෂමතා තුරන් කිරීමට අවකාශ ලැබෙනවා.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන් සඳහා අපේ හමුදා සාමාජිකයන් යෙදවීමේ අවස්ථා වැඩි කරනවා.

ආරක්ෂක ක්‍රියාදාමයන්ට සම්බන්ධ නිෂ්පාදන කර්මාන්ත ස්ථාපිත කරලීම දිරිමත් කරමින් ඒවායේ සේවය සඳහා විශ්‍රාමික හමුදා සාමාජිකයන් බඳවාගැනීමට ඉඩ ප්‍රස්තා සලසනවා.

නාවික හමුදාව සහ ගුවන් හමුදාව ගල්ෆ් මුහුදේ සේවාවන් සඳහා යෙදවීමෙන් අත්දැකීම් මෙන්ම ආදායම්ද ලබාගැනීමේ අවස්ථාව හමුදාවන්ට ලබා දෙනවා.

උඩින්, යටින්, මුහුදෙන් පොළොවෙන් කවර හෝ පැතිවලින් රටේ ආරක්ෂාවට තර්ජන එල්ල නොවන ලෙස සන්නද්ධ හමුදා බලයෙන්, දැනුමෙන් හා තාක්ෂණයෙන් පෝෂණය කරනවා.

පොලිස් පුනරුදය

අපරාධ යුක්ති පරිපාලනයේ මූලික අඩිතාලම සුරක්ෂිත, වගකීම් සහිත, දිවා රෑ ක්‍රියාශීලි, දක්ෂ නිර්භීත සහ අවංක නිලධරයන්ගෙන් සමන්විත පොලිසියක් සකසාගැනීමයි.

පොලිස් නිලධරයන්ගේ ආයතනික මෙන්ම පරිබාහිර විෂය දැනුම සහ කුසලතා වැඩිදියුණු කරලීමේ අරමුණින් පොලිස් විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරනවා. එමඟින් සේවයේ යෙදී සිටියදී උපාධි, පශ්චාත් උපාධි ලබාගැනීමට පොලිස් නිලධාරීන්ට අවස්ථාව සලසනවා.

විනයගරුක සමාජයක් බිහි කිරීමේ කාර්යයේදී පොලිස් සේවයෙන් කාර්යක්ෂම හා උපරිම සේවය ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකසනවා.

සිරකරුවෝද මනුෂ්‍යයෝය

වර්තමානයේ බන්ධනාගාර තුළ ඇත්තේ දැඩි තදබදයක්. එය බන්ධනාගාරගත වූවන්ගේ මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍යයටද අහිතකර තත්ත්වයක්. මේ නිසා සිරකරුවන් යහපත් මිනිසුන් සේ සමාජයට මුදාහැරීමේ ක්‍රියාවලිය අඩපණ වී තියෙනවා.

අප ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව නව බන්ධනාගාර පහසුකම් වැඩිදියුණු කරනවා.

එමඟින්, සෞඛ්‍ය, සනීපාරක්ෂක, ආහාර, සුභසාධන සේවා දියුණු කරනවා. මෙමඟින් සිරකරුවන් පුනරුත්ථාපනය කොට, යහමඟට ගෙන, සමාජයට වැඩදායි පුරවැසියන් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් වෙනවා.

විවිධාකාරයේ දඬුවම් ලබන රැඳවියන්, සිරකරුවන් රිමාන්ඩ් හා දිගුකාලීන බන්ධනාගාරගත කිරීම් යළි විමසීමකට භාජනය කරනවා.

බන්ධනාගාර නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් මෙන්ම පුහුණුවද ලබා දීමට පියවර ගන්නවා.

අනීතික මත්ද්‍රව්‍ය දුරැලීම

තහනම් මත්ද්‍රව්‍ය භාවිතය, වෙළෙඳාම, ඇබ්බැහිකම සහ ඇබ්බැහියෙන් අත්මිදීමට ඇති නොහැකියාව සුවිශාල සමාජ ප්‍රශ්නයක්. මේ තත්ත්වය සහමුලින් පාලනය කිරීමට පියවර ගන්නවා.

මත්ද්‍රව්‍ය මැඬලීමෙහි සිට මත්ලෝලීන් පුනරුත්ථාපනය දක්වා සියලු කාර්යයන් ආවරණය වන පරිදි, පුළුල් බලතල සහිත මත්ද්‍රව්‍ය මැඬලීමේ අණ දෙන මූලස්ථානයක් ස්ථාපිත කරලීම සඳහා නව පනතක් කෙටුම්පත් කර 2025 වසරේදී සම්මත කරගන්නවා.

මවුබිම දිනවමු

ප්‍රභාස්වර සමාජයක් බබළවන්නේ රසඥතාවෙන් පිරිපුන් පුරවැසියාය. ඔහු සහකම්පනයෙන් පෝෂිතය; නිර්මාණ ප්‍රතිභාවයෙන් ප්‍රදීප්තය.

සංස්කෘතික පුරවැසියෙක්

භාෂාව, සාහිත්‍යය, සෞන්දර්යය, ලලිතකලාදිය බෞද්ධ ඉගැන්වීම් සමඟ පෝෂණය වුණු බව රහසක් නොවේ. යහපත් පුරවැසියෙකු බිහි කරගැනීමටත් එම ඉගැන්වීම් උපයෝගි කරගන්න පුළුවන්.

අතීතයේ සිටම හින්දු, කිතුනු හා ඉස්ලාම් ආගම් අප රටේ පැවතුණා. ශ්‍රී ලංකාව බහු ආගමික සහ බහු සංස්කෘතික රටක්. ඒ ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කරමින්, සියලු බැතිමතුන්, පුදබිම් ඇතුළු එම බහු වර්ණ සමාජය සුරක්ෂිත කිරීමේ වගකීමෙන් හා යුතුකමින් බැඳී ක්‍රියා කරනවා.

අනුරාධපුරයේ හා පොලොන්නරුවේ නව කැණීම් අතරින් සොයා විමසා ඇති වටිනා උරුමය හදාරා, අලුත් ශ්‍රී ලංකාවට ඒවායින් ගත හැකි ප්‍රයෝජන ලබාගන්නවා. පෙරදිග ලෝකය තුළ ප්‍රසිද්ධ රාජ්‍ය පාලන මූලධර්ම අතරින් ‘දණ්ඩ’ හා ‘භේද’ අත්හැර ‘සාම’ හා ‘දාන’ යන්නට ගරු කිරීම අපේ පිළිවෙතයි. අහිංසාව, කරුණාව, මෛත්‍රිය අපේ ජීව ගුණයයි. අපරදිග ලෝකයෙන්ද ගත හැකි දැනුම් උල්පත් මඟින්ද අප රට පෝෂණය කරනවා.

ඓතිහාසික මහනුවර ආශ්‍රිත බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ ඩිජිටල් කෞතුකාගාරයක් බිහි කිරීම අපේ එක් අභිලාෂයක් වනවා.

ත්‍රිපිටක අධ්‍යයනය සඳහා කෘත්‍රිම බුද්ධිය, නව තාක්ෂණික දැනුම ඇසුරෙන් පහසුකම් ඇති කරන්න පියවර ගන්නවා. මහා විහාර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම අපගේ තවත් ප්‍රධාන අරමුණක්.

ආරණ්‍යවාසි භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් ලබා දීමට අරමුදලක් ඇති කරනවා. පිරිවෙන් අධ්‍යාපනය වැඩිදියුණු කරනවා. පැවිදි බිමට පත් මෙහෙණින් වහන්සේලාගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කළ හැකි යටිතල පහසුකම් සපයනවා.

හින්දු ආගම අනුරාධපුර – පොලොන්නරු යුගවල සිටම ලංකාවේ පැතිරුණා. රටේ වර්තමාන හින්දු දේවාල දියුණු කරනවා.

ඒ යටතේ මන්නාරමේ තිරුකේතීශ්වරම්, යාපනයේ නගුලේශ්වරම්, හලාවත මුන්නේශ්වරම් යන කෝවිල් පදනම් කරගනිමින්, දක්ෂිණ කෛලාශ කෝවිල් වන්දනාව හඳුන්වා දෙන අතර, ත්‍රිකුණාමලයේ තිරුකෝනේශ්වරම් මේ වට වන්දනාවේ ප්‍රධාන හින්දු මධ්‍යස්ථානය ලෙස ප්‍රවර්ධනය කරනවා.

හින්දු ආගමික නායකයන් සමඟ සාකච්ඡා කරමින්, ශ්‍රී ලංකාවේ පවතින හින්දු ආගම විධිමත් ලෙස හැදෑරීම සඳහා අධ්‍යාපන කේන්ද්‍රයක් ස්ථාපිත කරනවා.

ක්‍රිස්තියානි හා කතෝලික දරුවන්ට, කිතුනු පරිසරයක ආගම ඉගැන්වීම උදෙසා පහසුකම් සලසනවා. ක්‍රිස්තියානි හා කතෝලික අධ්‍යාපනය ලබා දෙන සෙමනේරිවලට හා මධ්‍යස්ථානවලට රජයේ ආධාර සහ සහයෝගය ලබා දෙනවා. මඩු දේවස්ථානය ඇතුළු වැදගත් ආගමික සිද්ධස්ථාන අවට යටිතල පහසුකම් සංවර්ධනය කොට, බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කරනවා.

ඉස්ලාම් ආගමික අධ්‍යාපනය සඳහා පහසුකම් සලසමින්, මද්‍රසා අධ්‍යාපනය දියුණු කරනවා. මුස්ලිම් සිරුරු ආදාහනය කිරීම වැනි අවිද්‍යාත්මක හා ආගමික විරෝධි කටයුතු පසුගිය කාලයේ සිදු වුණා. මේ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දුන් සියලු පවුල් වෙත වන්දි ලබා දීමට ක්‍රියා කරන අතර මෙවන් තත්ත්වයක් අනාගතයේ යළි කිසිදු අවස්ථාවක ඇති නොවන පරිදි නව නීති රීති අප 2025 වසරේ හඳුන්වා දෙනවා. කිසිදු ආගමකට, කිසිදු ජාතියකට තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවන්ට සහ ආගමික ඇදහිලිවලට බාධා නොවන සමාජ පරිසරයක් අප ස්ථාපිත කරනවා.

සියලු ආගමික සිද්ධස්ථාන වෙත සූර්ය විදුලිබල උත්පාදන කට්ටල ලබා දීමේ වැඩ සැලැස්ම ඉදිරියටම ගෙන යනවා.

ලලිත කලා ඔප කරනා…

කිසියම් රටක ජනයාගේ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය වන්නේ එ‍රට කලාවෙන් සහ සංස්කෘතියෙන්.

අපේ රට උඩරට – පහතරට – සබරගමු නර්තන කලාවන්ගෙන් සුපෝෂිතයි. පෙර අපර දෙදිග සංගීතයෙන් සහ ජන සංගීතයෙන්, සිව්සැට කලාවෙන්ද සුපෝෂිතයි. පාරම්පරික සිත්තරුන්ගෙන්, මූර්ති ශිල්පීන්ගෙන්, නවීන සිත්තරුන්ගෙන් සහ චිත්‍ර කලාවෙන්ද සුපෝෂිතයි.

අපේ සංස්කෘතියෙහි අනන්‍යතාව රැක දෙන මේ ශිල්පීන් ජාත්‍යන්තරය වෙත ගෙන යෑමට අප කටයුතු කරනවා.

අපේ සාහිත්‍යකරුවන් අතර ජගත් කීර්තිධර ලේඛකයන් පවා සිටිනවා. ඔවුන් රැකගැනීම සහ දිරි දීමත් රජයේ වගකීමක්.

ආනන්ද කුමාරස්වාමි මාවත ආශ්‍රිතව ජාත්‍යන්තර කලා සහ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් පිහිටුවනවා. ඒ සඳහා කොළඹ නෙලුම් පොකුණ, ජෝන් ද සිල්වා රඟහල, කලා භවන, විද්‍යා කෞතුකාගාරය, මහවැලි කේන්ද්‍රය, නව නගර ශාලාව ආදි පරිශ්‍රයන් ඒකාබද්ධ කරනවා. දේශීය කලාකරුවන්ගේ කුසලතා ඔපවත් කරලීමටත්, කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ප්‍රවණතා උකහාගැනීමටත් අවශ්‍ය පසුබිම මේ කේන්ද්‍රස්ථානයට ලබා දෙනවා. මෙය ‘ආනන්ද කුමාරස්වාමි ජාත්‍යන්තර කලා හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය’ යනුවෙන් නම් කරනවා.

මේ කේන්ද්‍රයටම අනුබද්ධිතව දකුණු ආසියානු සංස්කෘතික කේන්ද්‍රයක් ස්ථාපිත කරනවා. 2025 වසරේ මේ කාර්යයන් ආරම්භ කරනවා.

කොළඹ, ගාලුමුවදොර පිහිටි පැරණි යුද හමුදා රෝහල් ගොඩනැඟිල්ල නූතන කලා නිර්මාණ කෞතුකාගාරයක් සඳහා වෙන් කර දී ඇති අතර, එහි වැඩ කටයුතු 2025 වසරේ ආරම්භ වනවා.

පාරම්පරික හා නවීන නැටුම්, වැයුම් සහ ගැයුම්, කලා ශිල්ප, කර්මාන්ත, අත්කම් භාණ්ඩ, සූපශාස්ත්‍ර, සැරසිලි, මෝස්තර, විලාසිතා මෙන්ම රූපාලංකාර ආදි ක්ෂේත්‍රයන් සඳහා මේ කේන්ද්‍රයේ පහසුකම් සලසා, එක් අතකින් රැකියා උත්පාදනය කරනවා. අනෙක් අතින් විදේශ සංචාරක ආකර්ෂණය දිනාගන්නවා.

අද වන විට ග්‍රන්ථ ප්‍රකාශනය, ඊ-බුක් තාක්ෂණයත් සමඟ අරගල කරමින් සිටිනවා. පතපොත මුද්‍රණය සඳහා පහසුකම් පුළුල් කර, ලේඛකයන් සහ ප්‍රකාශකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අප පියවර ගන්නවා.

වේදිකා නාට්‍ය, මුද්‍රා නාටක, බැලේ, ඔපෙරා වැනි ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධියට අවශ්‍ය පසුබිම සකස් කරනවා.

සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය පණ ගන්වා, කලාපයේ සංස්කෘතික හා කලා කටයුතු දියුණු කිරීම සඳහා පදනමක් කරගන්නවා.

ජනප්‍රිය සංස්කෘතිය ප්‍රිය කරන යොවුන් පරපුර වෙනුවෙන් පොප් සංගීත හා නර්තන කලා මධ්‍යස්ථානයක් ද අප ආරම්භ කරනවා.

සෑම දිස්ත්‍රික්කයකම අංගසම්පූර්ණ රංග ශාලාවක් ඉදි කිරීමට කටයුතු කරන අතර, දැනට පවත්වාගෙන යන සංස්කෘතික මධ්‍යස්ථාන හා ඒකාබද්ධ කර, වාර්ෂික වැඩසටහන් සම්පාදනයට පියවර ගන්නවා.

ටවර්හෝල්, එල්ෆින්ස්ටන් ආදි කොළඹ නගරයේ රජයට අයත් රංග ශාලා සියල්ල එක් ජාලයක් යටතට ගෙනැවිත් ඒවායින් උපරිම පලය ලබාගත හැකි පරිදි සංවර්ධනය කරනවා.

ජාතික චිත්‍රපට සංස්ථාව වර්තමාන ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට සරිලන සේ චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාවක් බවට පත් කරනවා. එය ‘ෆිල්ම් ශ්‍රී ලංකා’ යනුවෙන් නම් කරනවා. මෙමඟින් ශ්‍රී ලංකාවේ සිනමාව ජාත්‍යන්තර තලයට හා ඩිජිටල් වේදිකාවන්ට ගෙන යෑමේ සැලසුම් ක්‍රියාත්මක කරනවා. සිනමා සංවර්ධනය වෙනුවෙන් වැඩ සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙන මේ පනත් කෙටුම්පත දැන් අවසන් අදියරෙහි සැකසෙමින් පවතිනවා. මෙය සම්මත වූවායින් පසුව, චිත්‍රපට ක්ෂේත්‍රයේ කිසිදු ව්‍යාපාරික කාර්යයකට රාජ්‍ය මැදිහත් වීමක් සිදු වන්නේ නෑ. සිදු වන්නේ නියාමන කාර්යයන් පමණයි. මෙම පනත 2025 වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

වාරණ මණ්ඩලය අහෝසි කර, ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කරලීමේ පනත් කෙටුම් පත දැන් සකස් කර අවසන්. වර්ගීකරණ සහතිකය ලද කිසිදු කලා නිර්මාණයකට අපරාධ නීතිය යටතේ චෝදනා කිරීමට ඇති සියලු ඉඩකඩ එම පනත් කෙටුම්පත මඟින් අහුරා තිබෙනවා. 2025 වසරේ මේ පනත සම්මත කර ක්‍රියාවට නංවනවා.

යහපත් මාධ්‍ය පරිසරයක්

සොඳුරු, සංවේදි ජනසමාජයක් බිහි කරන්නට බහුජන මාධ්‍ය හා නව මාධ්‍ය අවශ්‍ය වෙනවා.

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකසා, පුළුල් මානව හිතවාදි, විනයගරුක, නීතිගරුක, රසවින්දනය සහිත උසස්, ගුණ නුවණැති සමාජයක් සඳහා අඩිතාලම සවිමත් කරනවා. ජනමාධ්‍යවේදීන්, නිදහස් ලේඛකයන් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. ජනමාධ්‍යවේදය උදෙසා උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමේ කටයුතු 2025දී ආරම්භ කරනවා.

ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලු එකින් එක විසඳීමේ වැඩපිළිවෙළට මුලපුරනවා.

ආචාරධර්මීය සුරක්ෂිතභාවය ඇති විනිවිද පෙනෙන, ප්‍රඥාගෝචර මාධ්‍ය පරිසරයක් උදාකරලීම පිණිස විද්යුත් මාධ්‍ය නියාමන කොමිෂන් සභාවක් ස්ථාපිත කරනවා.

එකමුතු ශ්‍රී ලංකා

දකුණේ දරුවන් හිනැහෙන දවසක හිනැහෙමු අපි ලංකා

උතුරේ දරුවන් හිනැහෙන දවසක හිනැහෙමු අපි ලංකා

දකුණත් උතුරත් අත්වැල් බැඳගත් දවසක අපි ලංකා

රටේම දරුවන් සමඟින් සතුටින් හිනැහෙමු අපි ලංකා

එකම දැයක්…

අපේ රටේ බොහෝ ජාතීන් ජීවත් වෙනවා. ඒ හැම දෙනාම ශ්‍රී ලංකාවේ පුරවැසියෝ. ඔවුන් අතර එකමුතුව හා දේශයේ ඒකීයභාවය ආරක්ෂා කරමින්, සියලු දෙනාට යහපත් ජීවිත ගත කිරීමේ අයිතිය අප ලබා දෙනවා.

දෑවුරුද්දකට කලින් උද්ගත වුණු ආර්ථික අර්බුදය නිසා අපේ රටේ ජීවත් වන සියලු ජාතීන්ගේ බලාපොරොත්තු සුන් වී ගියා; ඉදිරියට යෑමේ අවස්ථාවන් අහිමි වී ගියා. දැන් අප සියලු දෙනාම එකමුතුව අපේ අනාගතය නිර්මාණය කරගැනීමේ දැවැන්ත අභියෝගයට උර දිය යුතුයි; ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජාතීන්ට යහපත සැලසෙන පරිදි අපේ අනාගතය සකස් කරගත යුතුයි.

දෙමළ කතා කිරීම නිසා කිසිදු පුරවැසියෙකු සිංහල කතා කරන ජන සමාජයෙන් හෝ සිංහල කතා කිරීම නිසා දෙමළ නැත් නම් මුස්ලිම් සමාජයෙන් හෝ වියෝ විය යුතු නැහැ. හැම ජන වර්ගයකටම ඥාතීන්, මිත්‍රයන් ලෙස ජීවත් වීමේ පසුබිම අපගේ රජය විසින් සකස් කරන බවට අප ශපථ කරනවා.

සියලු ජනතාවගේ සංහිඳියාව, ජීවන සමෘද්ධිය, සශ්‍රීකත්වය හා සෞභාග්‍යයේ අනන්‍යතාව සුරක්ෂිත කරමින්, දිවිපෙවෙත ගත කිරීමට අවශ්‍ය අවකාශය ලබා දෙනවා. විශේෂයෙන්ම උතුරු-නැඟෙනහිර කලාපීය සමාජ, ආර්තික, දේශපාලනික හා සංස්කෘතික, අස්පර්ශීය සංස්කෘතික උරුමය සුරැකීම සම්බන්ධව මෙන්ම අධ්‍යාපනික ගැටලුවලටද යථා විසඳුම් හා සමාජ ප්‍රශ්නවලටද පිළිතුරු සපයනවා.

යුද සමයේ අහිමි වූ ඉඩම් පිළිබඳ ප්‍රශ්නය සංකීර්ණ කරුණක්. ඉඩම් ගැටලුවට තිරසර විසඳුමක් ලබා දීම සඳහා ජාතික ඉඩම් කොමිසම පිහිටුවීමට අප ක්‍රියා කරනවා.

යුද සමයෙන් පසු නව ජීවනයකට අවතීර්ණ වෙමින් සිටින උතුරු-නැ‍ඟෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනතාවට ගැටලු ගණනාවක් තිබෙනවා.

මේ ගැටලු විසඳීම සඳහා:

• සත්‍ය සහ සංහිඳියා කොමිසම් පනත ක්‍රියාවට නංවනවා.

• අතුරුදන් වූවන් පිළිබඳ නවාස් කොමිසම් වාර්තාව ක්‍රියාත්මක කරනවා.

• පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට ස්වයං රැකියා කිරීම සඳහා මූල්‍ය සහාය ලබා දෙනවා.

මහ බලයක්…

ඉදිරි වසර පහ තුළ, අපේ රට තුළ කරන්නට ඇති වැඩ කන්දරාව තනි ආණ්ඩුවකට දරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා මධ්‍යම ආණ්ඩුව සමඟ පළාත් සභා සියල්ල එක් වී මේ බර දැරිය යුතුයි.

13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරලීම පිළිබඳව 2024 වසරේ අප ඉදිරිපත් කළ යෝජනා අනුව;

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පළාත් සභාවන්ට බලතල ලබා දෙනවා. පළාත් සභාවන්ට අයත්, එහෙත් දැනට මධ්‍යම ආණ්ඩුව පවරා ගෙන ඇති පළමු උප ලේඛනයේ බලතල නැවත පළාත් සභා වෙත පවරනවා.

2. පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දීම සම්බන්ධ තීරණ ගැනීම නව පාර්ලිමේන්තුවට භාර කරනවා.

3. පක්ෂ නායකයන් අනුමත කළ, උපලේඛන 3 හි අඩංගු බලතල පළාත් සභා වෙත පවරා දෙනවා.

ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව තම පළාත තුළ:

• පාසල් අධ්‍යාපනය

• වෘත්තීය පුහුණුව

• උපාධි ප්‍රදානය කිරීමේ ආයතන (අවශ්‍ය නම් පසු කලෙක විශ්වවිද්‍යාල මට්ටමට උසස් කළ හැකි අන්දමට)

• පළාත් සංචාරක ප්‍රවර්ධනය

• කෘෂි නවීකරණය

ආදි කාර්යයන් ඉටු කිරීමේ බලය පළාත් සභා වෙත ලබා දෙනවා.

මේ කාර්යයන්ට අදාළ නව අණ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා.

දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවීමට ක්‍රියා කරනවා. දහසක් මතවාද අතර එකම රටක් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, ආදිවාසි කවර ජන කොටසකට වුවත් ස්වාධීනව, අනන්‍ය සාධාරණ ලෙස ක්‍රියා කිරීමේ අයිතිය පවරා දෙනවා. මධ්‍යම රජයේ සිට පළාත් සභා හා පළාත් පාලන ආයතන වෙත බලතල පැවරීම සඳහා අණ පනත් සකසනවා.

2025 වසර තුළ පළාත් පාලන ක්‍රමයේ වෙනසක් සිදු කිරීමට මුල පුරනවා. දැනට ක්‍රියාත්මක වන නගර සභා ප්‍රතිව්‍යූහගත කොට, මහා නගර සභා බවට පත් කරනවා. ප්‍රාදේශීය සභා සහ මහා නගර සභා මඟින් බලය ක්‍රියාත්මක කරන ක්‍රමයක් සකසනවා.

දිනවමු ශ්‍රී ලංකා

ශ්‍රී ලංකාවේ අනාගතය ශක්තිමත්ව ගොඩනැංවීමේදී, අනිවාර්යයෙන්ම සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ගණනාවක් තියෙනවා.

ජනාධිපතිවරණයෙන් පසු, එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වගකීම පාර්ලිමේන්තුවට ලබා දෙනවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේද නැතිද යන්න තීරණය කිරීම නව පාර්ලිමේන්තුවට පැවරෙනවා.

• මැතිවරණ ක්‍රම

මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා වූ නිර්දේශ ඉදිරිපත් කිරීම උදෙසා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමේ කාර්යයද නව පාර්ලිමේන්තුව විසින් සිදු කරනවා.

යුරෝපයේ දේශපාලන පක්ෂ අභ්‍යන්තරය තුළ විනිවිද පෙනෙන උසස් ක්‍රමවේදයන් ක්‍රියාත්මකයි. මැතිවරණ වියදම් සම්බන්ධයෙන් හා අනෙකුත් පක්ෂ ක්‍රියාකාරකම් පිළිබඳව නව නීතිරීති හඳුන්වා දෙනවා.

• පාර්ලිමේන්තු ප්‍රමිති පනත

පාර්ලිමේන්තු ප්‍රමිතීන් පිළිබඳ පනතක් නීතිගත කරනවා. ඒ පනතේ සඳහන් ප්‍රමිතීන් බරපතළ ලෙස උල්ලංඝනය කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ හැකි අන්දමේ වගන්ති ඒ පනතට ඇතුළත් කරනවා.

පුරවැසි ඡන්දයෙන් තේරී පත් වන නියෝජිතයන්ට රජය සමඟ ව්‍යාපාර කරලීම අහුරන නීති සම්මත කරනවා.

• දෙවැනි මන්ත්‍රණ සභාව

ව්‍යවස්ථාදායක සභා වාර්තාවට අනුකූලව පළාත් සභා නි‍යෝජිතයන් සහ සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සැදුම් ලත් දෙවැනි මන්ත්‍රණ සභාවක් ස්ථාපිත කරනවා. පළාත් සභාවන්ට ව්‍යවස්ථාව සහ නීති මඟින් ලබා දී ඇති සියලු බලතල සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කෙරෙන්නේද යන්න අධීක්ෂණය කිරීමද මෙම සභාවට පැවරෙනවා.

පුරවැසියා බලගැන්වීම

බලවත් පුරවැසි සමාජයකින් රටට බොහෝ පල-ප්‍රයෝජන ලබාගත හැකි වනවා. එහෙත් අපේ රටේ ඊට පදනම සපයන නීති රීති සම්පාදනය වී ඇත්තේ අඩුවෙන්. ඒ නිසා පුරවැසියන් බලවත් කිරීමේ අරමුණ ඇතිව අප නව නීති රීති සහ ආයතන කීපයක් හඳුන්වා දෙනවා.

• සමාජ සාධාරණ කොමිසම

ඍජුවම ජනතා හඬට සවන් දීමේ අභිලාෂය ඇතිව සමාජ කොන් කිරීම් සහ බැහැර කිරීම් වැළැක්වීම උදෙසා ස්ථාපිත කෙරෙන සමාජ සාධාරණ කොමිසම ස්ථාපිත කරනවා.

• මහජන ප්‍රාරම්භන පනත

දැනට ජනතා පරමාධිපත්‍යය අභ්‍යාස කරන ප්‍රධාන මාර්ගය වන්නේ ජනාධිපතිවරණ, පාර්ල‍ිමේන්තු, පළාත් සභා ආදි මැතිවරණයන්හිදී ඡන්දය පාවිච්චි කිරීමයි.

අප හඳුන්වා දෙන මහජන ප්‍රාරම්භන පනත මඟින් මහජනතාවට පාර්ලිමේන්තුව වෙත යෝජනා සහ අණපනත් ඉදිරිපත් කිරීමේ අවකාශය උදා වෙනවා. මෙමඟින් ව්‍යවස්ථා සම්පාදනයට ඍජුවම සම්බන්ධවීමට පුරවැසියන්ට හැකි වනවා.

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයට ඉතා බලවත් අංගයක් මෙමඟින් එකතු වනවා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන භාවිතයක් තුළ ඍජු ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රම පවත්වාගෙන යන රටවල් අතරට මෙමඟින් අපේ රටද එක් කෙරෙනවා.

• ජන සභා

ප්‍රාදේශීය ග්‍රාමීය ජනතාව සංවර්ධන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සක්‍රියව දායක කරගැනීම ජන සභාවන්හි අරමුණයි. දැනටමත් නියමු ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මකයි. ඒවායේ අත්දැකීම් පදනම් කරගනිමින්, රට පුරා ග්‍රාමසේවා වසම් 14,002ක ඇති 50,000 ඉක්මවන ගම්මාන සියල්ල නියෝජනය වන පරිදි ජන සභා පිහිටුවනවා.

ඉතින් හදමු අපි අලුත් රටක්…!

අපේ මේ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව දිනවීමටයි; පක්ෂයක් හෝ පුද්ගලයකු හෝ දිනවීමට නොවෙයි.

රනිල් නියෝජනය කරන්නේ තනි පක්ෂයක් නොවෙයි; තනි පුද්ගලයෙක් නොවෙයි; ඔහු නියෝජනය කරන්නේ මුළු මහත් ශ්‍රී ලංකාවමයි:

ජාති භේදයෙන්, ආගම් භේදයෙන්, වෙනත් කිසිම භේදයකින් විරසක නොවූ ශ්‍රී ලංකාවයි; අප හැමගේම අනාගතයයි.

මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න රනිල් සමඟ එක් වන්න.

ඔව්…!

එතකොට අපට අනාගතය ගොඩනංවන්න පුළුවන්…!

අනාගතය ගොඩනැංවීමේ ව්‍යායාමයේ කොටස්කරුවෙක් වෙන්න.

අප හා එක් වන්න.

ඔව්… මේ ඡන්දෙන් රනිල් දිනනවා.

ඒ කොහොමද?

අප අවුරුදු දෙකකට කලින් දැක්කෙ පෝලිම්; කාලය ගත වුණේ පෝලිම්වල; ගෙවල් කළුවරයි; රස්සාවක් කරකියාගන්න විදියක් නෑ; අතමිට හිඟයි.

ඒත් අද අප දකින්නේ සතුටින් හිනා වෙලා ඉන්න රටක්; විදුලියෙන් බබළන රටක්; දෙයියනේ කියලා රස්සාවක් කරගෙන අත මිට සරු කරගන්න පුළුවන් පරිසරයක්.

මේ මහා වෙනස කළේ රනිල්.

රනිල් අභියෝග භාර ගන්න නායකයෙක්; පටන්ගත්තු වැඩ ඉවර කරපු, ඉවර කරන නායකයෙක්.

ජනතාවට සින්නක්කර ඉඩම් ලබා දෙන වැඩපිළිවෙළට ඔහු මුලපිරුවෙ මීට අවුරුදු විසිතුනකට කලින්. එදා සිට ඔහු මේ වෙනුවෙන් වෙහෙසුණා. ඔහුට ඉහළින් සිටි ජනාධිපතිවරුන් මේකට අවසර දුන්නේ නෑ. රනිල් වැඩේ අත්ඇරියෙත් නෑ. ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය විතරක් නොවෙයි, නිවාස අයිතියත් දැන් ලැබෙනවා.

ඒ නිසා රට ඉහළට ඔසවන්නත්, අදට වඩා අපේ ජීවිත යහපත් කරන්නත් ශක්තිය තිබෙන්නෙ රනිල්ට.

අනෙක් අපේක්ෂකයන් එකිනෙකා ජනාධිපතිකමට සටන් කරද්දි, රනිල් ඒ සටනට එක් වන්නේ නෑ.

රනිල්ට එක් එක් පුද්ගලයන්ට එරෙහිව සටනක් නෑ. රනිල්ගෙ සටන තිබෙන්නේ අගහිඟකමට එරෙහිව; විරැකියාවට එරෙහිව; දුප්පත්කමට එරෙහිව; මන්දපෝෂණයට එරෙහිව.

රනිල් මේ සටන් කරන්නේ තනතුරක් වෙනුවෙන් නොවෙයි. රනිල් සටන් කරන්නේ මේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය නඟාසිටුවන්න. රනිල් සටන් කරන්නේ රටට ජය ගේන්න. රනිල් සටන් කරන්නේ ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත් කරන්න.

අන්න ඒ නිසයි රනිල් දිනන්නෙ.

අන්න ඒ නිසයි රනිල් පරාද කරන්න කාටවත්ම බැරි වෙන්නෙ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT