ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පුෂ්පදාන ශාලාවේ ඊයේ (02) පැවැති රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ රැස්වීමකට රජයේ නිලධාරීන් පිරිසක් රාජකාරී වේලාව තුළ සහභාගි වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මැතිවරණ කාර්යාලය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම රැස්වීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දෙපාර්තමේන්තු ගණනාවක සේවකයන් සහභාගී වී සිට ඇති අතර ඔවුන් පෞද්ගලික නිවාඩු ලබාගෙන මෙම රැස්වීවලට සහභාගි වූයේද යන්න සම්බන්ධයෙන් මහනුවර මැතිවරණ කාර්යාලය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් වාර්තාවක් කැඳවා ඇත.
සති අන්ත නිවාඩුවෙන් පසු සඳුදා දින රාජකාරි බහුල දිනයක් වී තිබියදී රාජ්‍ය සේවකයන් දේශපාලන රැස්වීම්වලට සහභාගි වීම මඟින් රාජ්‍ය ආයතනවලින් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව දැඩි අසීරුතාවට පත්වන බවට අදාළ රැස්වීම සංවිධාන කළ පිරිසට චෝදනා එල්ල වී තිබේ.
අදාළ රැස්වීම සඳහා සහභාගී වීමට පෞද්ගලික දින නිවාඩු, වරු නිවාඩු හා කෙටි නිවාඩු අනුමත කරන ලෙස රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමය ලිපියක්ද යොමුකර ඇත.
මෙම රැස්වීමට රජයේ නිලධාරීන් 200ක පමණ පිරිසක් සහභාගී වී සිට ඇති අතර ඔවුන් ඊට සහභාගි වූයේ නිසි අවසරයකින් හා අනුමැතියකින්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අසේල කුරුළුවංශ