ශ්රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට අනුරාධපුරයට පැමිණි කුරුණෑගල ව්යාපාරික කාන්තාවක සතුව තිබුණු රුපියල් ලක්ෂ 64කට අධික රන් භාණ්ඩ හා මුදල් සොරා ගැනීමක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම ව්යාපාරික කාන්තාව කුරුණෑගල අස්වැද්දුමේ පදිංචිකාරියකි. ඇය සිය පවුලේ සාමාජිකයන් සමඟ ශ්රී මහා බෝධිය වන්දනා කිරීමට පැමිණ ඇත්තේ පසුගිය 31 වැනිදාය. ඇය පැමිණි ජිප් රථය උඩමළුවට ඇතුළුවන ප්රධාන දොරටුව අසල රථ ගාලේ නවතා පෙරවරු 10.20ට පමණ උඩමළුවට ගොස් වන්දනාමාන
කර නැවත වාහනයට ගොඩවී ඇත්තේ සවස 2.00ට පමණය.
ව්යාපාරික කත ඇගේ රන් භාණ්ඩ හා මුදල් අත්බෑගයේ දමා වාහනයේ තබා ගොස් ඇත. එහි පවුම් 31කට වැඩි බරැකි රන් මාල 05ක්, අත් පලඳනා 04ක්, පෙන්ඩන් 07ක්, මුදු 07ක්, කරාඹු ජෝඩු 06ක්, අමෙරිකානු ඩොලර් 500ක් හා රුපියල් ලක්ෂ 05ක මුදලක් තිබුණු බව ව්යාපාරික කාන්තාව පොලිසියට පවසා ඇත.
වාහනයේ පරිස්සමට තබා ගිය රන් භාණ්ඩ හා මුදල් අතුරුදන්ව ඇති බව ව්යාපාරික කාන්තාව දැනගෙන ඇත්තේ අනුරාධපුරයේ සිට කුරුණෑගලට ගිය පසුව බව ද පොලිසිය කියයි.
කුරුණෑගල සිට පැමිණ ව්යාපාරික කාන්තාව මේ ගැන පැමිණිල්ලක් කළ බවත් ඇය පවසන ආකාරයට අත්බෑගය වාහනයේ තිබී ඇත්තේ ඇය තබාගොස් ඇති ආකාරයටම බවත් අනුරාධපුර පොලිසිය සඳහන් කරයි. මෙම වාහන නැවතුම්පොළේ නවතා ගිය වාහනවල තිබුණු වටිනා කියන භාණ්ඩ සොරා ගැනීම් මෙයට පෙරත් සිදුව ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ගයාන් කුමාර වීරසිංහ