කෑගල්ල, ගලිගමුව, කොබ්බෑවල, හේනෙවල ප්‍රදේශයේ ගල් ගුහාවක් හරා එහි තිබී රන් තැටියක් ගත්තා යැයි කියන දෙදෙනෙක් කෑගල්ල මහේස්ත්‍රාත් යුරේකා විමලජීව මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පෙරේදා 31 වැනිදා නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ ගලිගමුව බල්ලපාන පදිංචිව සිටින ත්‍රිරෝද රථ රියැදුරුවරයකු වන 42 හැවිරිදි ලියනගේ රංජිත් තිස්ස කුමාර ලියනගේ සහ දිඹුල්ගමුවේ පදිංචිව සිටින 40 හැවිරිදි හෙට්ටිආරච්චිලාගේ රංජිත් සරත් කුමාර නමැති දෙදෙනාය.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිසිය කියා සිටියේ ගලිගමුව, කොබ්බෑවල හේනෙවල ප්‍රදේශයේ වයස අවුරුදු 76ක හා 70ක යුවළක් පදිංචිව සිටින බවත් ඔවුනට දරුවන් සිව් දෙනකු සිටින අතර, දරුවන් මවුපිය යුවළ අතහැර දමා විවිධ ප්‍රදේශවල පදිංචිව සිටින බවත් පොලිසිය පැවසීය.
වයෝවෘධ යුවළ රබර් කිරි කපා ගන්නා සොච්චම් මුදලින් හා රජය මඟින් ලබා දෙන සහනාධාර මුදල්වලින් දැනට දිවි ගෙවමින් සිටියි. මෙම වයෝවෘද්ධ යුවළ පදිංචිව සිටින නිවෙස පිටුපස විශාල ගල් ගුහාවක් පිහිටා ඇති අතර, එම ගල් ගුහාවේ නිදන් ඇති බවට ගෙහිමියා පළමු සැකකාර ත්‍රිරෝද රථ රියැදුරුට දන්වා තිබේ.
දැඩි අපහසුතා මධ්‍යයේ දිවි ගෙවන වයෝවෘද්ධ යුවළට පංගුවක් දෙන බවට ත්‍රිරෝද රථ රියැදුරු පොරොන්දු වී ඇති අතර, පිනක් දහමක් කර ගැනීමට, කෑම බීම ලබා ගැනීමටත් පුළුවන් යැයි සිතා නිධානය ගොඩ ගැනීමට සැකකරුවන්ට යුවළ කැමැත්ත දී ඇති බවත් පොලිසිය පැවසීය. පසුව ත්‍රිරෝද රථ රියැදුරු දෙවැනි සැකකරු හා කුලියාපිටිය ප්‍රදේශයේ කට්ටඩියකු සමඟ පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වයෝවෘද්ධ යුවළ පදිංචිව සිටින නිවෙසට පැමිණ බලා නිධානය ගොඩට ගතහොත් අනුරාධපුර රුවන්වැලි සෑයට අට පිරිකරක් පූජා කරන බවට පඬුරක් වෙන් කරන ලෙසට දෙවැනි සැකකරු වයෝවෘද්ධ කාන්තාවට දන්වා තිබේ. පසුව කාන්තාව පඬුරක් ගැට ගසා ඇති අතර, ඔවුන් දෙදෙනා ද ආරක්ෂා කරමින් ගෙලෙහි නූල් ගැට ගැසීමක් ද සැකකරුවන් විසින් සිදු කරනු ලැබ තිබේ.
ඒ අනුව, අගෝස්තු 18 වැනිදා සිට වයෝවෘද්ධ යුවළට දින තුනක් තිස්සේ ප්‍රණීත ආහාරපාන දී 20 වැනිදා ත්‍රිරෝද රථ රියැදුරු ඇතුළු පස් දෙනා නිවෙසට පැමිණ නිධානය තිබුණා යැයි කියන ගල් ගුහාව ඇතුළත මල් පහන් පත්තු කර පූජාවක් පවත්වා ගුහාවේ අඩි හයක වළක් හරා එහි තිබුණා යැයි කියන රන් තැටියක් 21 වැනිදා රාත්‍රී ගොඩට ගෙන යුවළට පෙන්වා ඇති බව පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
අනතුරුව පස් දෙනා වයෝවෘද්ධ යුවළට අටපිරිකරක් දී රුවන්වැලි සෑ චෛත්‍යය රජයාණන් වහන්සේට පූජා කර භාරය ඔප්පු කරන ලෙසත්, ගොඩගත් රන් තැටිය අලෙවි කර දින කිහිපයකින් පංගුව ගෙනත් දෙන බවත් පවසා නිවෙසින් පිටව ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
නිධානයක් ගොඩ ගැනීමක් සම්බන්ධයෙන් නොකියා මුදල් ගෙනත් නොදුන්නා යැයි පවසා නිවෙසේ හිමිකාරිය වන ගලිගමුව කොබ්බෑවල හේනෙවල පදිංචිව සිටින 72 හැවිරිදි හේවා පේඩිගේ චන්ද්‍රාවති නමැත්තිය ඉකුත් 29 දා කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. පැමිණිල්ලට අනුව පොලිසිය අදාළ නිවෙසේ තිබී අටපිරිකරක්, පූජාවට ගත් ද්‍රව්‍යත් පොලිස් භාරයට ගෙන ඇත. පසුව ප්‍රධාන සැකකරු හා සෙසු සැකකරු පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් අනවසර කැණීම් සිදු කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන පසුගියදා (31) කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් යුරේකා විමලජීව මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැප්තැම්බර් 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය. නිධානය ගොඩගත් කට්ටඩියා යැයි කියන සැකකරු කුලියාපිටියේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, ඔහු ඇතුළු සෙසු තිදෙනා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පැවසීය.
කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.එල්. ලීලවංශ, පොලිස් අධිකාරී චන්දන කන්දේවත්ත මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. වීරසිංහ යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර රණසිංහ, උපපොලිස් පරීක්ෂක ලාල් ප්‍රියන්ත, උපපොලිස් පරීක්ෂක ජයසිංහ, පොලිස් සැරයන් සම්පත් (64324) පොලිස් කොස්තාපල්වරුන් වන කළුගල්ල (61999), බණ්ඩාර (77178), නිමන්ත (85049) විමර්ශන කටයුතු සිදු කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
සිද්ධිය වූ ස්ථානයේ කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිවංක දෙහිමඩුගේ මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ජයලාල් මලන්දෙණිය, පොලිස් සැරයන්වරුන් වන අලහකෝන් (7393), වසන්ත (34165), පොලිස් කොස්තාපල් රියැදුරු ගුණතිලක (3954) යන නිලධාරින් 31 වැනිදා ස්ථානීය පරීක්ෂණය සිදු කර තිබේ.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්