පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් තම මෝටර් රථය කරා පැමිණෙමින් සිටි ව්‍යාපාරිකයකු සහ ඔහුගේ මිතුරකුට දෙනෝදාහක් ඉදිරියේදී කනට ගසා මාංචු දමා පරුෂ වචන ද කියමින් අසල පාළු ඉඩමකට රැගෙන ගොස් ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන භාරයට ගෙන පාණදුර දකුණ පොලිස් ස්ථානයට රැගෙන ගොස් කිසිදු හේතුවක් නැතිව පැය හතරකට අධික කාලයක් රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා බණ්ඩාරගම විදාගම පදිංචි පිලාන ගමගේ චින්තක නමැති දෙදරු පියා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ.
අගෝස්තු 22 වැනිදා ව්‍යාපාරික චින්තක මහතා මිතුරකුගේ අධිකරණ කටයුත්තක් සඳහා පාණදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත තවත් මිතුරකු සමඟ පෙරවරු 8.45ට ඔහුට අයත් මෝටර් රථයෙන් ගොස් අධිකරණය ආසන්නයේ මාර්ගයේ නවතා අධිකරණය වෙත ගිය බව එම ලිපියේ සඳහන්ය.
අධිකරණ කටයුත්ත දහවල් 01.00ට පමණ නිමා වීමෙන් අනතුරුව මිතුරා සමඟ අධිකරණයෙන් පිටතට පැමිණ තේ පානය සඳහා ආපනශාලාවක් වෙත යමින් සිටියදී අධිකරණය අසල ශ්‍රී මහා විහාර පාර ආසන්නයේ රැඳී සිටි පාණදුර දකුණ පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් සිව්දෙනකු එකවරම ඔවුන් ඉදිරියට පැමිණ ව්‍යාපාරිකයාගේ කනට පහරක් ගසා ඔහුව අල්ලාගෙන මාංචු දමා ඇත.
එම අවස්ථාවේදී ව්‍යාපාරිකයාගේ අත තිබූ ජංගම දුරකතනය ද උදුරාගෙන තිබූ පොලිස් නිලධාරියකු අසල පාළුවට ගිය ඉඩමකට ඇදගෙන යෑමේදී ඔහු සමඟ පැමිණි මිතුරා ද තවත් පොලිස් නිලධාරියකු විසින් අල්ලාගෙන එම ස්ථානයට ඇදගෙන පැමිණ එකම මාංචුව දෙදෙනාට දැමූ බවත් එම අවස්ථාවේදී ව්‍යාපාරිකයා පොලිස් නිලධාරීන් අමතා “ඇයි මොකක්ද හේතුව යයි විමසීමේදී “යමන්කෝ ඇතුළට කියලා දෙන්නම් කියලා මහ හයියෙන් කෑ ගසමින් තොපි චණ්ඩි නේද? තොපිත් එක්ක ආවා අනිත් එකා කෝ, කියලා අසා තිබිණි.
මම ආවේ මේ යාළුවා එක්ක විතරයි යැයි පැවසීමේදී, උඹලත් එක්ක උසාවි ඇතුළෙ හිටිය එකා කෝ. “මම කිව්වා එයා අපිත් එක්ක ආවේ නැහැ වෙන වාහනයක ආවේ, එයා ගෙදර යනවා කියලා ගියා කියලා.”
ඊට පස්සේ එම පොලිස් නිලධාරියා ව්‍යාපාරිකයා අමතා “යමන් උඹේ කාර් එක ළඟට” කියලා අප දෙන්නාව කාර් එක ගාවට එක්කගෙන ගියා. ගිහින් අප දෙන්නව කාර් එකේ පිටුපස අසුනට තල්ලු කළා. ආපු පොලිස් නිලධාරියකු මගෙන් කාර් එකේ යතුර ගත්තා.
කාර් එක පණ ගන්වාගෙන පාණදුර දකුණ පොලිසියට අපව එක්කගෙන ගියා. ඒ ගොඩනැඟිල්ලේ දෙවැනි තට්ටුවේ රථ වාහන අංශයට අරගෙන ගිහිල්ලා මගේ ෆෝන් එකට ආපු එක දුරකතන ඇමතුමකටවත් කතා කරන්න දුන්නේ නැහැ. මාව අල්ල ගත්ත පොලිස් නිලධාරියා, මගේ ළඟට ඇවිල්ලා මගේ ෆෝන් එක පෙන්නලා මම අරගත්ත දුරකතන ඇමතුම් හා මට ලැබුණු දුරකතන ඇමතුම් කාගෙන්ද යන්න ප්‍රශ්න කළා.
මම ඒ වෙලාවෙදිත් ඇහුවා ඇයි මහත්තයා මොකක්ද ප්‍රශ්නය මට හේතුව කියන්න කියලා.
“ඔහොම හිටපන් හරියට කියලා දෙන්නම් කියලා.” ටික වේලකට පස්සෙ ඒ නිලධාරියා මට කිව්වා “උඹත් එක්ක උසාවියේ හිටපු එකාව කෝල් කරලා ගෙන්නපන් කියලා. අපි උඹව පොලිසියෙන් අල්ලන් ඉන්නේ නැති විදිහට”, මට හරියට බය හිතුණා මගේ ෆෝන් ස්පීකර් එක දාලා කෝල් එක අරගෙන මගේ කට ගාවට ළං කළා. මම ඒ නිලධාරියා කියූ විදිහට එයාට කතා කරලා කිව්වා පාණදුර පොලිසිය අසල තියෙන රෙදි කඩේ ගාවට එන්න කියලා.
ඒ අයියා කඩේ ගාවට ආවා. පස්සේ පොලිසියේ කට්ටියක් ගිහින් එයාව අල්ලගෙන අපි ඉන්න තැනට අරගෙන ආවා.
මාව අල්ලගෙන ආපු පොලිස් නිලධාරීන් කිව්වා” උඹේ වාහනේ අංකය දීලා 119යෙන් පැමිණිල්ලක් ඇවිත් තියෙනවා හොරණ රෝහල ගාවදී මිනිහකුට කඩුවෙන් පහර දෙන්න හැදුව කෙනෙක් වාහනේ ඉන්නවා කියලා. ඒකට තමයි ගෙනාවේ කිව්වා.
පස්සේ ඒ නිලධාරීන් අපේ නම් සහ ලිපිනයන් අරගෙන හොරණ සහ බණ්ඩාරගම පොලිසිවලින් දුරකතනයෙන් අපේ විස්තර අහනවා ඇහුණා. ඒ එක්කම ටික වේලාවකට පස්සේ පොලිසියේ ලොකු මහත්තයෙක් අපි හිටිය තැනට ඇවිත් අපිව අල්ලගෙන ආපු පොලිස් නිලධාරින් සමඟ කතා කරලා යන්න ගියා.
ඊට පසුව අපි තුන්දෙනාගේ විස්තර අහගෙන පොතක ලියා ගත්තා. ඒ ලියාගෙන ඒකට යටින් අපෙන් අත්සන් ලබා ගත්තා.
මොනවා ලිව්ව ද කියලා දන්නේ නෑ. ඒ ගැන අහන්න ගියෙත් නෑ, මම හොඳටම බය වෙලා පීඩනයකින් හිටිය නිසා. ආයේ ගහයි කියලා හිතුණා. පැය හතරකට අධික කාලයක් අපිව පොලිසියේ නිකරුණේ පීඩනයට පත් කරමින් තියාගෙන ඉඳලා අපට යන්න කිව්වා.
අපිව අල්ලන් ගිය මහත්තුරු කාගේ හෝ බලපෑමකට, මුදල්වලට යටත්ව මේ ලෙස අපිව පීඩාවට ලක් කළ බව මට ගොඩක් විශ්වාසයි. හරියට මංකොල්ලකාරයෙක් මිනිමරුවෙක් අරන් යනවා වගේ අපිව අරන් ගියේ. මෙම පොලිස් කණ්ඩායම එම ස්ථානයේ රැඳී සිටි වෙනත් සිවිල් පුද්ගලයකු විසින් මෙහෙයවූ බවට මා හට දැඩි සැකයක්ද ඇති වුණා. එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියකුගේ අත වූ ජංගම දුරකතනයේ වීඩියෝ දර්ශනයක් පෙන්නලා ඇහුවා” මේකේ ඉන්නේ උඹ නේද කියලා.” මේ වීඩියෝ එක පැහැදිලිව තිබ්බේ නෑ, ඒකේ ඉන්නේ කවුද කියලා අඳුරන්න අමාරුයි.
පස්සේ මම ඇහුවා මේ මොකක්ද වීඩියෝ එක, කවුද එව්වේ කියලා? එතකොට ඒ මහත්තයා මට කිව්වා 119යෙන් තමයි එවලා තියෙන්නේ කියලා. එම නිසාම අපිව අත්අඩංගුවට ගත්ත පොලිස් නිලධාරීන් කණ්ඩායම කාගේ හෝ උවමනාවකට අත්අඩංගුවට ගත්තා කියලා තමයි මට තවදුරටත් හිතෙන්නේ. පාණදුර අධිකරණය අසලදී මා හට සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම නිසා මා හා පවුලේ අය දැඩි කම්පනයට භීතියට පත්ව සිටින අතර රාජ්‍ය සේවිකාවක් වන මාගේ බිරිය හා මා යටතේ සේවය කරන සේවකයන් මෙන්න අනෙකුත් හිතවතුන්ගෙන් පැමිණි ඇමතුම් සියල්ලම අසාධාරණ ලෙස අපිව පොලිසියට රැගෙන ගිය නිලධාරීන් විසින් පිටතට ඇසීමට හැකිවන ලෙස දුරකතනය හසුරවන ලෙස බලපෑම් කිරීම මත දැඩි අසුරුතාවකට මෙන්ම ලැජ්ජාවකට මෙන්ම දැඩි මානසිකව පීඩාවකට පත් වූ බවත් ඊට අමතරව මෙම සිද්ධිය වන අවස්ථාවේදී මාගේ දරුවා පාසලේ සිට නිවෙසට රැගෙන යෑමට නියමිතව සිටි බැවින් එම අවස්ථාව ද මඟහැරී ගිය බවත් බිරිය සහ දරුවා දැඩි අසීරුතාවකට පත් වූ බවත් ඊට අමතරව මගේ ආයතනයේ සේවකයන්ට දිවා ආහාර ලබාදීම මා විසින් සිදු කරන අතර මෙම නිලධාරීන්ගේ පහත් ක්‍රියාකලාපය හේතුවෙන් සේවකයන්ට දහවල් ආහාර ලබාදීමට නොහැකි වීමෙන් ඔවුන්ට නිරාහාරව සිටීමට සිදු වූ බව ද එම ලිපියේ දක්වා ඇත.
අපි දෙදෙනාව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් කවුරුවත් මම අඳුරන්නේ නෑ. නමුත් ඒ අයව දැක්කොත් මට සියලු දෙනාම අඳුරගන්න පුළුවන්, එහෙත් මාව අල්ලගෙන මාංචු දාලා මට කනට ගැහුව නිලධාරියාට පොලිසිය ඇතුළෙදි තවත් නිලධාරියෙක් ඇවිල්ලා වන්නිනායක කියලා කතා කළා. එයාගේ නම ඒක වෙන්න ඇති කියලා මම හිතනවා. ඒත් මට ඒ වෙලාවේ එතනට ආපු හැමෝම දැක්කොත් අඳුර ගන්න පුළුවන්.
ඉහත සඳහන් කරන ලද පැමිණිල්ල අනුව අත්අඩංගුවට ගැනීම සඳහා 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලද වීඩියෝ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙස ද බොරු පැමිණිල්ලක් කර අසීරුතාවට පත් කළ පුද්ගලයන් හඳුනාගෙන නීතිය හමුවට කැඳවන ලෙස ද ව්‍යාපාරිකයාට සහ මිතුරාට පහරදී අමානුෂික ලෙස මානසික හිංසනයට ලක් කළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කර සාධාරණයක් ඉටු කරන ලෙස ද එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
ව්‍යාපාරික පිලාන ගමගේ චින්තක මහතා ඔහුට සහ මිතුරාට සිදුවූ මානසික මෙන්ම කායික අපරාධය සම්බන්ධයෙන් වූ දැක්වෙන ලිපියේ පිටපත් ජනාධිපති, අගමැති, නීතිය හා සාමය අමාත්‍ය, ආරක්ෂක ලේකම්, කළුතර නියෝජ්‍ය පොලිස්පති පාණදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙන්ම සහකාර පොලිස් අධිකාරි සහ පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට ද යොමු කර ඇත.
බණ්ඩාරගම බිමල් ජයසිංහ