Thursday, May 15, 2025
Home » ඡන්දයට හැඳුනුම්පත අනිවාර්ය කරන්න

ඡන්දයට හැඳුනුම්පත අනිවාර්ය කරන්න

by sachintha
September 4, 2024 2:10 am 0 comment

ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය දිනා ගැනීමේ ඓතිහාසික වසර වන්නේ 1931ය. එතෙක් ඡන්ද බලය සීමා වී තිබුණේ වයස 24ට වැඩි, දේපළ හිමි, ඉංග්‍රීසි උගත්, පුරුෂ පක්ෂයට පමණකි. එහෙත් සර්වජන ඡන්ද බලය මඟින් වයස 21ට වැඩි කාන්තා සහ පිරිමි සියලුම ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වරප්‍රසාදයක් හිමිකර දුන්නේය. එකල පැවති ඩොනමෝර් කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දුන් වෘත්තීය සමිති, තරුණ සමිති සහ කාන්තා නියෝජිතයෝ සර්වජන ඡන්ද බලය ලංකාවට ලබා දෙන ලෙස බලපෑම් කළ අතර ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමේදීත්, එම නිදහස අර්ථවත් කර ගන්නට සර්වජන ඡන්ද බලය සඳහා මෙසේ ඇති කළ පුළුල් නියෝජනය විශාල පිටිවහලක් විය.

මෙවර සැප්තැම්බර් 21 වෙනිදා එළඹ ඇත්තේ ජනාධිපතිවරණයකි. එහෙත් ඡන්දය කී විට, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය හෝ ජනමත විචාරණය විය හැකිය. ඒ කුමන ඡන්ද විමසීමකදී වුවද එක් ප්‍රධාන පොදු කාරණයක් වන්නේ, ඡන්දය භාවිත කිරීම සඳහා හඳුනාගැනීමේ පත්‍රයක් අනිවාර්ය වීමය. එය ජාතික හැඳුනුම්පතම නොවූවත්, තමාගේ අනන්‍යතාව සනාථ කිරීමට හැකියාව ඇති නීතිමය ලෙස පිළිගත හැකි ලියවිල්ලක් විය යුතුය. ජාතික හැඳුනුම්පතට අමතරව මැතිවරණ කොමිසම විසින් අනුමත කරන ලද අනන්‍යතා ලේඛන වන්නේ, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය පක්ෂයට අදාළ හැඳුනුම්පත සහ මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි මඟින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පතය. ඒ අනුව මේවා අතරින් එක් ලේඛනයක් අනිවාර්යයෙන් ඡන්ද පොළට රැගෙන නොගියහොත් අනන්‍යතාව තහවුරු කළ නොහැකි නිසා ඡන්දය දැමීමේ අවස්ථාව අහිමි වන්නේය.

ඡන්ද දූෂණ වැළක්වීම උදෙසා, මේ අතිශය වැදගත් නියමය එනම් හැඳුනුම්පත ඡන්දයට අනිවාර්ය කිරීම පිටුපස ඉතිහාස කතාවක් තිබේ.

නිදහස ලැබුණු 1948 සිට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පතක් හඳුන්වා දිය යුතු බවට සාකච්ඡා වූ අතර, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කරගැනීමට ඡන්දය සඳහා ජාතික හැඳුනුම්පත ඡන්දයට අනිවාර්ය කළ යුතු බවත් සාකච්ඡාවට ගැනිණි. මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව 1959 දී පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉදිරිපත් කළ ද එය ක්‍රියාත්මක නොවීය. පසුව 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සම්මත වී 1971 දී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ස්ථාපිත කර, ප්‍රථම ජාතික හැඳුනුම්පත 1972.09.14 දින නිකුත් කර තිබේ. ඒ, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටයි. 1972 දී එය ඡන්දය සඳහා හඳුන්වා දුන්න ද, ඡන්දය භාවිත කිරීමට ජාතික හැඳුනුම්පත අනිවාර්ය වූයේ නැත.

ඡන්දයට ජාතික හැඳුනුම්පත අනිවාර්ය කරන සටනට දිනේෂ් ගුණවර්ධන වර්තමාන අග්‍රාමාත්‍යවරයා නායකත්වය දුන්නේ 1983 සිටය. ඊට ආශීර්වාදයක් සේ පාර්ලිමේන්තුව 2002 දී පිහිටවූ ‘මැතිවරණ සංශෝධන තේරීම් කාරක සභාවේ’ සභාපතිත්වය විපක්ෂ මන්ත්‍රීවරයකු වූ ඔහුට හිමි විය.

ඒ අනුව ඓතිහාසික කාර්යභාරයක් සම්පූර්ණ කර, ඊට සහය දුන් සියලු පාර්ශ්වවල ආශීර්වාදයෙන් 2004 අංක14 දරන ‘ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත’ 2004.11.19 දින පාර්ලිමේන්තුවේ සම්මත කරවා ගැනීමට හැකියාව ලැබුණේය. එහෙත් විවිධ බාධා මතු වූ අතර 2004 සම්මතවූ නීතිය සැබැවින්ම ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ 2008 වර්ෂයේ සිටය. එය, දිනේෂ් ගුණවර්ධන මහතාගේ 25 වසරක සටනේ ජයග්‍රාහී ප්‍රතිඵලයක් විය. 2008 වසරේදී තවත් නව නීති ප්‍රතිපාදන ගෙන එමින් ඡන්ද හිමි නාම ලේඛනය පරිගණකගත කිරීම හරහා නීති විරෝධී ලෙස ලියාපදිංචි වී සිටි ව්‍යාජ ඡන්ද දායකයන් ලක්ෂ ගණනින් ඉවත් කර ඡන්ද හිමි නාම ලේඛනය වඩාත් පිරිසිදු කිරීමට හැකියාව ලැබිණි.

එතැන් සිට 2006 සහ 2021 ස්ථාපිත කළ ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්හි ද සභාපතිවරයා වූ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා, ඒ හරහා තරුණයන්ට අවුරුදු 18 පිරුණු වහා ඡන්ද බලය හිමිවන නිර්දේශ ඉදිරිපත් කරමින් 2022දී පාර්ලිමේන්තුවේ නීති සම්මත කරවා ගැනීමට සමත් විය. තරුණ, කාන්තා නියෝජනය මෙන්ම කේවළ සහ සමානුපාතිකව එක්වූ මිශ්‍ර ඡන්ද ක්‍රමය යළි සියලු ඡන්ද විමසීම් උදෙසා හඳුන්වාදීමේ නිර්දේශ ද, ‘දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු කමිටු’ ඔස්සේ ඉදිරිපත් කර තිබේ. අවසන් පළාත් පාලන ඡන්දයේදී අඩුපාඩු සහිතව වුවද මිශ්‍ර ක්‍රමය ක්‍රියාත්මක කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය. ඡන්ද පෙට්ටි වෙනත් ස්ථානයකට ගෙන නොගොස්, ඒවායේ ඇති ඡන්ද එම ඡන්ද පොළේදීම ගණන් කිරීමේ නිර්දේශය ද 2018දී ක්‍රියාත්මක කරවා ගැනීමට හැකිවීම ‘දිනේෂ් ගුණවර්ධන කමිටුවේ’ තවත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT