ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හඳුන්වා තිබුණේ ‘මහින්ද චින්තනය’ යනුවෙන් ය. එහි සටහන් වූයේ ඉදිරි හය වසර තුළ රට පාලනය කරන ආකාරයයි.
මැතිවරණය පැවැති පසුබිම ගැන සොයාබැලීම ද මෙහිදී වැදගත්ය. ජනාධිපතිවරණය පැවැත්වූ කාලයට වසරකට පෙර රට සුනාමි උවදුරට මුහුණ දුන්නේය. රටට බලවත් විනාශයක් සිදු විය. විනාශ වූ ජීවිත ගණන ද සුළුපටු නැත. බලයේ සිටි ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා මැතිනිය සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට සම්පූර්ණ සහයෝගය හා ආශීර්වාදය ලබා දුන්නේ ද යන්න ද ගැටලුවකි.
මෙබඳු පසුබිමක් යටතේ ශ්‍රී.ල.නි.ප.ය ප්‍රමුඛ සන්ධානය තුළ බෙදීම් ගණනාවක් ප්‍රදර්ශනය විය. රාජ්‍ය සේවකයා අවිනිශ්චිත තත්ත්වයක පසුවූයේ යැයි කීම නිවැරැදිය.
ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය හා කාල වකවානුව පිළිබඳ නියෝගය ලබා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. චන්ද්‍රිකා මැතිනියගේ දෙවන ධුර කාලය ආරම්භ වන්නේ කවදා ද? එය නිමාවට පත්වන්නේ කවදා ද? ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ කවදා ද? යන ගැටලු සම්බන්ධයෙන් විවිධ මත සමාජය තුළ පැතිර ගියේය. එහි ප්‍රතිඵලයක් හැටියට ජාතික හෙළ උරුමය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවක් ගොනු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වූයේ චන්ද්‍රිකා මැතිනියගේ දෙවන ධුර කාලය 2005 දෙසැම්බරයට පෙර අවසන් වන බැවින් ඊට පෙර ජනාධිපතිවරණය පවත්වා නව ජනාධිපතිවරයකු පත් කරගත යුතු බවය.
මැතිවරණ කොමිසම ඒ අනුව ක්‍රියා කළේය. මහින්ද මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තෝරාපත් කර ගනු ලැබූයේ විවිධ මතගැටුම් මධ්‍යයේය. ඇතැම් රාජ්‍ය නිලධාරීහු මහින්ද මහතාගේ අපේක්ෂකත්වයට එරෙහිව සීතල යුද්ධයක යෙදුණාහ. පක්ෂ නායකත්වය මේ ආරවුල් විසඳීමට ඉදිරිපත් වූ බවක් පෙනෙන්නට නොතිබිණි.
ද්වි – පක්ෂ ක්‍රමයක් පවතින මහා බ්‍රිතාන්‍ය, අමෙරිකා එක්සත් ජනපදය, නූතන ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද තෙවන පාර්ශ්වයක් කෙරෙහි අලුත් බලාපොරොත්තු ඇති කරගන්නේ නැති බවට කදිම සාක්ෂියක් ලෙස 2005 ජනාධිපතිවරණය පෙන්වා දිය හැකිය. එම ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය මහින්ද මහතාට ලැබිණි. එහෙත් ප්‍රතිඵලය විශාල වෙනසකට පාර කපා තිබුණේ නැත. ඇතැම් විට සුළු බලපෑමක් සිදු වූයේ නම්; ඡන්ද ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබිණැ’යි තර්කයක් මතු කළ හැකිය. ජනාධිපතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වල වාර්තාවලට අනුව මැතිවරණය ඉතා සාමකාමී වූ අතර, කිසිදු දූෂණ සිද්ධියක් වාර්තා වී නැත.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය විමසුමට ලක් කරන විට දේශපාලන සාධක කිහිපයක් මතු කරගත හැකිය.
(i) යුද්ධය ජනාධිපතිවරණයේ ප්‍රධාන සාධකයක් නොවූ බව.
(ii) තෙවන පාර්ශ්වයක් හෝ බලකඳවුරක් හෝ කෙරෙහි ජනතා විශ්වාසයක් නැති බව.
(iii) ආර්ථිකය හෝ ජාතික ආණ්ඩු පිළිබඳ සංකල්පය හෝ ජනතාවගේ ප්‍රධාන සැලකිල්ලට ලක් නොවූ බව.
(iv) පක්ෂ හා සන්ධාන වෙනුවට පුද්ගල චරිත කෙරෙහි ජනතාවගේ වැඩි නැඹුරුවක් ඇති බව පෙනී යෑම.
ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හඳුන්වා තිබුණේ ‘මහින්ද චින්තනය’ යනුවෙන් ය. එහි සටහන් වූයේ ඉදිරි හය වසර තුළ රට පාලනය කරන ආකාරයයි. ඒ අනුව මතට තිත තැබීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබිණි. ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වසර තුනක් තුළ මතට තිත තැබීමේ ජාතික වැඩසටහන සාර්ථකව නිමාවට පත්විය යුතුය.
රන්ජන් අමරරත්න