Thursday, May 15, 2025
Home » ජනතා පරමාධිපත්‍යයේ නියෝජනය කතිරයයි

ජනතා පරමාධිපත්‍යයේ නියෝජනය කතිරයයි

by sachintha
September 4, 2024 2:01 am 0 comment

පවතින ගැටලුවලට විසඳුමක් දිය හැකි නායකත්ව පෞර්ෂය මෙන්ම දැක්ම ඇත්තේ කාටද ? අඩු වශයෙන් එක් අරමුණක් වෙනුවෙන් පෙළ ගැසුණු කණ්ඩායමක් ඇත්තේ කාට දැයි සියුම්ව නිරීක්ෂණය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. එසේම ඒ ඒ දේශපාලන පක්ෂවලට ඇති වගකීම වෙන්නේ රැල්ලට පිටතින් තර්කානුකූලව සිතා අනාගතය සැලසුම් කිරීමයි.


කාල් මාක්ස් විසින් “ආසියාවේ ජාතීන්ගේ අනාගත අභිවෘද්ධිය පදනම් වී ඇත්තේ ඔවුන්ගේම අතීත අගතීන්වලට එරෙහි මාවතේය” යැයි සඳහන් කර තිබේ. ඉන් කියැවෙන්නේ අතීතය සුඛිත මුදිතයැයි සිතමින් එවන් පාලනයක් ජීවන රටාවක් වඩා උතුම් යැයි සිතමින් එවන් සමාජ ක්‍රමයක් නැවත ස්ථාපිත කිරීම සඳහා සිහින දැකීම පසෙකලා ඉන් පාඩම් ඉගෙනගෙන නව මාවතක් සොයා ගත යුතු බවයි.

තෙල් පෝලිම්, ගෑස් පෝලිම් හමුවේ “සිස්ටම් චේන්ජ්” නමින් කරලියට පැමිණ ඉල්ලා සිටියේ කුමක්ද? ඒ රැල්ල මැතිවරණයකින් පත් කර ගත් විධායක ජනාධිපති ඉවත් කිරීම දක්වා වූ අතර ඉන් අනතුරුව රටේ පාලනය කුමක් විය යුතු දැයි වෙනසක් වෙනුවෙන් එක්රැස්වූ කිසිවෙක් ⁣දැන නොසිටියේය. පසුගිය සමයේ බංග්ලාදේශයේ සිදු වූ අගමැතිනිය පලවා හැරීම සමඟ සැසඳීමේදී පෙනීයන්නේ හුදු ජනතා නැඟිටීමටත්, ඉන් ඈතට මෙහෙයවන අදිසි බලවේගයක් ද ක්‍රියාත්මක වූ බවයි. එය මෙරට වාමාංශික දේශපාලනයේදී හඳුන්වන අවස්ථාවාදයට එහා ගිය ආර්ථික දේශපාලන ක්‍රියාවක් බව අනුමාන කළ හැකි සත්‍යයකි. මෙවර ජනාධිපතිවරණය හමුවේද ඒ අදිසි බළල් අත යම් ප්‍රමාණයකින් ක්‍රියාත්මක නොවන්නට බැරිය. අපේක්ෂකයන්ගෙන් වෙනසක් ඉල්ලමින් සිටින ජනතාව නැවත වරක් සහන මල්ලක් ⁣ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන් දැයි විමසිලිමත්ය. වුවමනාවටත් වඩා සහන ලබාදීම හේතුවෙන් බංකොලොත් වූ රටක් බව මේ වන විට අපේක්ෂකයින්ට මෙන්ම ජනතාවට අමතක වී ඇති සැටියකි.

වරද ඇත්තේ 225 තුළ හෝ ජනාධිපති අපේක්ෂකයාගේ නොව දේශපාලන පරිකල්පනය ඉතාමත් දුබල තැනක පවතින ජනතාව සතුව ද බව කිව යුතුම ය.

කෙසේ වෙතත් ගෝලීය, කලාපීය‍ මෙන්ම ජාතික ආර්ථිකයේ සැබෑ තත්තවය අවබෝධ කර ගන්නා තරම අනුව රටේ අනාගතය කෙබඳු දැයි අනුමාන කළ හැකියි. සිංහල ජාතිය වඳ වේ යැයි සිතමින් ඡන්දය භාවිතා කළ ජනයා‍ මෙන්ම යහපාලනයක් අපේක්ෂාවෙන් ඡන්දය ලබාදී පාස්කු බෝම්බයෙන් සංග්‍රහ ලද ජනයා නැවතත් රාජ්‍ය ආරක්ෂාව මෙන්ම ක්‍රමයේ වෙනසක් අපේක්ෂාවෙන් ඡනදය භාවිතා කළේය. එහෙත්, අදියරෙන් අදියර ආර්ථිකය අගාධයට යන විට බොරු බේගල් කියූ කිසිවෙක් වරද වූයේ කොතැනක දැයි පිළිගැනීමට පවා මැළි විය. ඉතින් අපි මේ වතාවේ රැවටෙන්නේ කුමක් වෙනුවෙන්ද? කාල් මාක්ස් කී පරිදි අතීතයේ වැවයි දාගැබයි ගමයි එක්ව පැවති යුගය වඩා සුන්දරයි සිතමින් එවන් යුගයක් ප්‍රතිනිර්මාණය කිරීමටද? නැතහොත් රාවණා යුගයක් අරඹමින් ඉන්දියාව සමඟ වුව සටන් කිරීමට හැකි මට්ටමේ ජාතික රාජ්‍යයක් සෑදීමටද ? පවතින ගැටලුවලට විසඳුමක් දිය හැකි නායකත්ව පෞර්ෂය මෙන්ම දැක්ම ඇත්තේ කාටද ? අඩු වශයෙන් එක් අරමුණක් වෙනුවෙන් පෙළ ගැසුණු කණ්ඩායමක් ඇත්තේ කාට දැයි සියුම්ව නිරීක්ෂණය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. එසේම ඒ ඒ දේශපාලන පක්ෂවලට ඇති වගකීම වෙන්නේ රැල්ලට පිටතින් තර්කානුකූලව සිතා අනාගතය සැලසුම් කිරීමයි.

යම් දේශපාලන කණ්ඩායමක් රැලි මතින් බලයට පත්වීම රටකට යහපත් ප්‍රතිඵල අත්කරදෙන්නේ නැත. මන්ද පෙරකී රැල්ල මතින් බලයට පත්වූ දේශපාලන කණ්ඩායම තමන් බලයට පත්කළ රැල්ලට පෙරළා වගකිව යුතුය. මෙහිදී එකී දේශපාලන කණ්ඩායමට වෙනත් න්‍යාය පත්‍රයක් තිබුණ ද එය ක්‍රියාත්මක කිරීමට යාමේදී රැල්ල පාරාවළල්ලක් බවට පත්වේ.

බොහෝවිට රැල්ල නිර්මාණය වන්නේම පරිකල්පිත සතුරෙකුට එරෙහි වෛරයක්ද සමඟය. දූෂකයන්ට දඬුවම් දීම වැනි අපේක්ෂාවලට 1994 චන්ද්‍රිකා පැවසූවේ රැල්ල පෝෂණය කිරීමටය. මේ රැල්ලට ජීවය සපයන්නේ එකී වෛරය විසිනි. රැල්ලක් සමීපයේ සතුරෙක් හා ඊට එරෙහි වෛරයක්ද පැවතීම සියුම්ව නිරීක්ෂණය කළ හැකියි.

රැල්ල විසින් අපේක්ෂා ඉටු නොවූ කල රැල්ල විසින් ඉහළට එසවූ නායකයන්ව බිමට සමතලා කිරීම රැල්ලේ ස්වභාවයයි.

මේ අර්බුදය ශ්‍රී ලාංකේය ආර්ථික නිදහස ලද අවස්ථාවේ සිටම පැන නැඟුණකි. අර්බුදයේ සැබෑ මූලය ඇත්තේ රටට විනිමය උපයන මාර්ගවල ඇති දුබලකමයි. ණයට ගෙන හෝ කා‍, බී අලසව කල්ගත කිරීමේ වුවමනාවක් ඇති පරම්පරාගත රෝගයයි. උපයන ධනය මෙන් කීපගුණයක ධනයක් රටේ එදිනෙදා අවශ්‍යතාවයන්ට වැයවෙන ආර්ථිකයක් ඇති රටක පළමු කාර්යය විය යුත්තේ නාස්තිය හා දූෂණය අවම කිරීමයි. එය නායකයින් විසින් ආදර්ශමත්ව ක්‍රියාවට නැංවිය යුතු මූලික කාර්යයකි.

දෙවැන්න ආදායම් ඉපැයිය හැකි මාර්ග හඳුනාගෙන ඒ සඳහා අවතීර්ණවීමයි.

තෙවැන්න මසකට රුපියල් බිලියන සියයක් පමණ වැය කරන ව්‍යවසායකත්වයන්, නිසි කළමනාකරණ මාවතක් වෙත යොමු කිරීමයි. කෙසේ වෙතත් මේ මොහොතේ පවා අරගල ජනප්‍රිය වාදය කැරකෙන්නේ රට බේරා ගැනීමට නම් කෙසේ හෝ රාජ්‍ය ආයතන පද්ධතිය රජය නඩත්තු කළ යුතු ය යන ජනප්‍රිය මතය වටායි. සැබෑ අර්බුදය ඇත්තේ නායකයින් තුළ ද? ඒ ඒ දේශපාලන කඳවුරු විසින් ගොඩනැඟු රැලිතුළ ද? යන්න සිතා බැලිය යුතුය.

මේ වන විට රටේ ණය බර ඩොලර් බිලියන 100 ඉක්මවයි. එවන් ණය බරක් තිබියදී දේශපාලකයින්ට වාහන හත අට තමන් සතු කර ගනිමින් සංදර්ශන පැවැත්විය හැකිද?

“පාලකයන්ට පමණක් නොවේ මේ අවස්ථාවේ නිලධාරීන්ට මෙන්ම ජනතාවට ඇති වගකීම ඓතිහාසිකය” දේශපාලකයන් විසින් ජනමතය ලාභෙට ඩැහැ ගැනීම සඳහා දෙන පොරොන්දු සහ සිහින පිළිබඳව සිතා බැලිය යුතුය. රටේ ආර්ථික බංකොලොත්කමට අදාළ තමාගේ දායකත්වය වටහා ගැනීමට ලද අවස්ථාව අත්නොහැරීම මේ මොහොතේ ඡන්දදායකයා සතු පරම යුතුකමකි. සැබවින්ම ජීවත් වීමට සුදුසු රටක් නිර්මාණය කිරීම යනු අපි ඉන්නේ කොතැනද? අපිට වැරදුණේ කෙසේද? අප නිවැරැදි විය යුත්තේ කෙසේ දැයි හඳුනා ගැනීමයි. එවන් ජනතාවක් ඉදිරියේදී පාලකයින්ට චාටු කතා කීමට නොහැකිය. එවන් ජනතාවක් රැලි නංවා දැක්කා විය නොහැක.

නිදහසින් පසුව ඇති කළ රැල්ල පැරණි රාජාණ්ඩුවට සමාන පාලනයක් බිහි කර ගැනීමයි. ඉන්පසුව බලය ලබා ගැනීම සඳහා දිගින් දිගටම කළේ දෙමළ ජාතියට එරෙහිව සිංහල ජාතිවාදී රැල්ල නැංවීමයි. එහි ප්‍රතිඵලය තිස් අවුරුදු යුද්ධයයි. ඉන් අනතුරුව බලය ලබා ගැනීමට මුස්ලිම් ජනයාට එරෙහිව සිංහල ජාතිවාදය එසවීය. එසේ

ජාතිවාදී රැලි නැංවූයේ ද, ජාතිවාදී නායකයන් බලයට පත් කළේ ද, පාලකයන්ට හොරා කෑම සඳහා පසුබිම සකස් කර ගැනීමට තුනෙන් දෙක ලබා දුන්නේද මේ ජනතාවමය.

ඩොනමෝර් සාමිවරයා මෙරටට සර්වජන ඡන්ද බලය ලබාදීමේදී මෙම ගැටලුව හඳුනාගෙන තිබිණි. ජනතා පරමාධිපත්‍ය නියම ආකාරයෙන් නියෝජනය වෙන්නේ කතිරය බුද්ධිමත්ව ගැසීමෙන් පමණි.

රට බංකොලොත්වීමෙන් ගොඩනැඟුණ සමාජ පසුබිම ජනතාවට සිතීමට ලද හොඳම අවස්ථාවකි.

බුද්ධිකා බ්‍රාහ්මණගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT