Home » පළාතෙන් පළාතට ආවේණික පලතුරු වැව් බැඳි රටට ගෙනැවිත් විකුණන වෙළෙන්දෝ

පළාතෙන් පළාතට ආවේණික පලතුරු වැව් බැඳි රටට ගෙනැවිත් විකුණන වෙළෙන්දෝ

by sachintha
September 4, 2024 2:29 am 0 comment

දකුණු පළාතේ සහ කොළඹ, ගම්පහ, කෑගල්ල ආදී ප්‍රදේශයන්ට ආවේණිකව වැවෙන පලතුරුවල වාරය මේ වන විට උදා වී තිබේ. මෙසේ මේ පළාත්හි ගෙවතු ආශ්‍රිතව වැවී රට පුරා ජනයාගේ රස නහර පිනවන පලතුරු වර්ග කිහිපයකි. රඹුටන් ඉන් ප්‍රමුඛය. ගඩුගුඩා, මැංගුස්, දූරියන් මෙන්ම තවමත් සමහරකුට ආගන්තුකව පවතින ඩොංගා පලතුරු විශේෂය ද මෙකලෙහි වෙළෙඳපොළට එනු දැකගත හැකිව ඇත. වසරෙහි මාස දෙකක පමණ කාල පරාසයක ඵල නෙළන මෙම පලතුරු මේ වන විට රජරට ප්‍රදේශයේ ද මහමඟ දෙපස අලෙවි වනු දැකගත හැකිව තිබේ.

ඩොංගා පලතුර ගාල්ලෙන් රජරටට ගෙනවිත් අලෙවියේ යෙදෙන ඩබ්ලිව්.ඊ. සිරිවර්ධන මහතා පැවසූයේ මෙවැනි කතාවකි.

“මගේ උපන් ගම ගාල්ල. මං එහේ තමයි සෑහෙන කාලයක් ජීවත් වුණේ. දැන් අනුරාධපුරේ, ශ්‍රාවස්තිපුර පදිංචි වෙලා ඉන්නේ. ඩොංගා කියන පලතුර ගාල්ලේ හොඳට වැවෙනවා. ඩොංගා මෙහේ අයට අලුත් වුණාට එහේ හරි ජනප්‍රිය පලතුරක්. ඩොංගා සාමාන්‍යයෙන් මේ කාලෙට තමයි හැදෙන්නේ. එහේ ඉන්න නෑදෑයන්ට කියලා කෝච්චියේ දමලා ගෙන්න ගන්නවා. මේ දවස්වල කෝච්චි පාර හදන හින්දා මහවට එනකන් කෝච්චියෙන් ගෙන්නගෙන එතැන ඉඳන් බස් එකේ දාගෙන අරගෙන එනවා. ඩොංගා කියන්නේ ගොඩක් උසට හැදෙන ගහක්. ගෙඩි කඩාගන්නඑකත් ලේසි නෑ. හැබැයි හරි රසයි. මැංගුස් වගේම තමයි. පාට විතරයි වෙනස්.”

බොහෝ විට වැඩි වශයෙන් රඹුටන් ගම්පහ ආශ්‍රිතව වැවෙනු දැකගත හැකිය. ගම්පහ, මල්වානේ රඹුටන් රට පතළය. මැංගුස් සඳහා යම් සමානකමක් දක්වන ඩොංගා දකුණේ, ගාල්ලෙහි පමණක් නොව, මාතර යම් යම් ප්‍රදේශවලද මනාව වැවෙන බව සඳහන් වේ. කළුතර, මතුගම ආදී ප්‍රදේශ බොහෝ විට මැංගුස් සඳහා පතළව පවතී. සමහරකු දූරියන් ගෙඩියේ සුවඳට අකමැති වුවත් බොහෝ දෙනකු දූරියන් අනුභව කිරීමට දක්වනුයේ දැඩි කැමැත්තකි. රසයෙන් මෙන්ම ගුණයෙන් ද අනූන පලතුරක් වන දූරියන් මිලෙන් අධික වුවත් සමහරකු එහි රස බැලීමට යොමු වනුයේ දෙවරක් නොසිතාය. ගම්පහ, ගාල්ල, කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, මාතර, වැනි දිස්ත්‍රික්කවල දූරියන් ශාකය බහුලව වැවෙනු දැකගත හැකිව තිබේ.

අනුරාධපුර නගරයට වී දූරියන් වෙළෙදාමේ යෙදෙන එම්.ඩී. ප්‍රේමරත්න මහතා පැවැසුවේ මෙවැනි කතාවකි.

“දූරියන්වලින් අමුතු සැර සුවඳක් ආවට පුදුම රස පලතුරක් මේක. ගොඩක් අය හරි ආසයි දූරියන් කන්න. මාසයක් දෙකක් තමයි දූරියන් වාරේ තියෙන්නේ. අපි දූරියන් ගේන්නේ කෑගල්ල පැත්තෙන්. ගේන එක ලේසි නෑ ගෙඩියේ කටු හරි සැරයි. ගොඩක් වෙලාවට ළඟපාත ඉන්න අය අපි ළඟ නවත්තලා දූරියන් අරගෙන යනවා. ගාන ටිකක් වැඩි හින්දා සමහරු ගණන් අහලා නිකම්ම යනවා. ඔය ශ්‍රී මහා බෝධිය වඳින්න දුර පළාත්වල ඉඳලා එන කට්ටියත් මෙතැනම තියාගෙන දූරියන් ගෙඩියක් කපාගෙන කාල යන වෙලාවලුත් තියෙනවා.”

ගම්පහ, කොළඹ, රත්නපුර, කෑගල්ල ආදී දිස්ත්‍රික්ක ආශ්‍රිතව ගෙවතු වගාවක් ලෙස මනාව සිදු කෙරෙන ගඩුගුඩා පලතුර ද ළමා ළපටින්ගේ නොමද ප්‍රසාදය දිනුවකි. වෙසක් මහ අහවරව පොසොන් මාසය උදාවෙත්ම මේ මිහිරැති ගෙවතු පලතුරුවාරය ඇරඹෙයි. සැප්තැම්බර් මැද පමණ වන විට එය නිමා වෙයි.

වසර පුරාම දිවයිනේ කොහේ හෝ වැවෙන කුමන හෝ පලතුරක් වැව් බැඳි රටට ගෙනවිත් ඉන් දිවි ගෙන යන අනුරාධපුර, දහයියාගම සුදන්ත හෙට්ටිආරච්චි මහතා පැවැසුවේ මෙවැනි අදහසකි.

“මං දැන් අවුරුදු තිහක් විතර මේ රස්සාව කරන්නේ. අවුරුද්ද පුරාම මොනව හරි පලතුරු ගෙනත් විකුණනවා. යාපනේ මිදි හැදෙන කාලෙට මිදි ගෙනැල්ලා විකුණනවා. ඉස්සර අපි ඔය කැලෑවල හැදෙන පලු, වීර, මොර වගේ පලතුරු ගෙනත් විකිණුවා. දැන්නම් ඒවා හොයා ගන්නඑක ලේසි නෑ. මේ දවස්වල ගඩුගුඩා, රඹුටන්, මැංගුස් එහෙම ගෙනත් විකුණනවා. අපට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි හැතක්ම සීයක් හමාරක් දුර ඉඳලා මේ පලතුරු අරගෙන එනකොට පොඩි වෙන එක. පොඩි වුනහම ඉක්මනට කුණු වෙනවා. එතකොට සෑහෙන්න අහක දාන්න වෙනවා. අපි වගේ පොඩියට වෙළෙඳාම් කරන අයට ප්ලාස්ටික් කූඩ ටිකක් වගේ දෙන්න වැඩපිළිවෙළක් හදන්න පුළුවන් නම් ඒක අපට විතරක් නෙමෙයි රටටම කරන සේවයක්.”

තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT