ඉකුත් අගෝස්තු මස 27 වැනිදා බිබිල මොනරාගල මාර්ගයේ නන්නපුරාව විදුහල ඉදිරිපිටදී මෝටර්රථයක් පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකුගේ ඇඟේ හැපීමෙන් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එක් සිසුවියක් ඉකුත් 02 වැනිදා මියගොස් ඇතැයි මැදගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මැදගම නන්නපුරාව ගාලබැඳිකැටිය පදිංචි බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආර්.එම්. දුලාෂි කේෂලා රත්නායක (15) නමැති ශිෂ්‍යාවකි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම විදුහලේම දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නන්නපුරාව, දිවියාපොළ, කෝන්ගොල්ල පදිංචි එච්.එම්. රන්සරණී අභිමානී (15) නමැති සිසුවිය දැනට බිබිල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
මෙම ශිෂ්‍යාවන් දෙදෙනා ඉකුත් 27 වනිදා සවස තම පාසලේ පැවැත්වෙන අමතර පන්තියකට සහභාගිවී සවස පහට පමණ බිබිල මොනරාගල මාර්ගයේ විදුහල ඉදිරිපිට රෙදිපිළි අලෙවි සලක් ඉදිරිපිට පාර අයිනේ තාර ගැට්ට අසල රැඳී සිට ඇත. එම අවස්ථාවේදී මැදගම සිට බිබිල දෙසට ධාවනය වූ මෝටර්රථය රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව, රථය මාර්ගයේ වම්පසින් ඉවතට පැන මාර්ගයේ තාර ගැට්ට අසල සිටි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනාගේ ඇඟේ හැපී ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ශිෂ්‍යාවන් දෙදෙනා බිබිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයෙන් සිටි දුලාෂි කේෂලා රත්නායක සිසුවිය බදුල්ල මහ රෝහලට මාරුකිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබේ. සිද්ධියට සම්බන්ධ මෝටර් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ සංචාරක මඟ පෙන්වන්නකු වන 18 හැවිරිදි 07 කණුව, පුස්සැල්ලාව, තල්දෙන, බදුල්ල පදිංචි අය අත්අඩංගුවට ගෙන ඇති අතර බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මැදගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දිසානායක මහතාගේ උපදෙස් මත උ.පො.ප එච්.එම්.කේ. ධර්මසිරි මහතා පරීක්ෂණ පවත්වයි.
ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක