Friday, May 16, 2025
Home » මුහුණු පොතේ දැන්වීමක් දමා විකුණන්න ගිය කිරිගරුඬ බුදු පිළිමයක් සමඟ තුනක් පොලිස් දැලේ

මුහුණු පොතේ දැන්වීමක් දමා විකුණන්න ගිය කිරිගරුඬ බුදු පිළිමයක් සමඟ තුනක් පොලිස් දැලේ

-වාලම්පුරියක්-වී.ඕ.සී. කාසි දෙකක් ඒ අතර

by sachintha
September 4, 2024 2:19 am 0 comment

 

පෞරාණික වටිනාකමින් යුත් කිරිගරුඬ බුදු පිළිමයක් වාලම්පූරියක් පිඟානක් සහ වී.ඕ.සී. කාසි දෙකක් සමඟින් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.

පාදුක්ක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක මහතාට පුද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව පාදුක්ක නගරයේදී මෙම සැකකරුවන් තිදෙනා සමඟ භාණ්ඩ ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම සැකකරුවන් පාදුක්ක සිට වෑන් රථයකින් කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකුට මේවා අලෙවි කිරීමට රැගෙන යන අවස්ථාවේදී මාර්ග බාධකයක් යොදවා මෙම වැටලීම කළ බවද පොලිසිය පවසයි.

මුහුණු පොතේ දැන්වීමක් පළකර මෙම භාණ්ඩ රුපියල් ලක්ෂ 30ක මුදලකට විකිණීමට සැලසුම් කර තිබූ අතර කුරුණෑගල ප්‍රදේශයේ පිරිසක් ඒ සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක මහතාට ලබා දුන් තොරතුරකට අනුව මෙම සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව පැවසෙයි.

එම පිරිස පාදුක්ක නගරයේ බැංකුවක් අසල රැඳී සිටින බවට එම තොරතුරෙන් අනාවරණය වී තිබූ බවත් එයින් මද වෙලාවකට පසු එම ස්ථානයෙන් මඳක් ඉවතට ගොස් සිටියදී සැකකරුවන් එලෙස අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

පාදුක්ක හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 40, 42 සහ 18 හැවිරිදි තිදෙනෙකු සහ අදාළ භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගත් වෑන් රථය පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

මේවා පුරාවිද්‍යා වටිනාකමකින් යුත් භාණ්ඩ බැවින් සැකකරුවන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බවත් අදාළ භාණ්ඩවල පෞරාණික වටිනාකම පිළිබඳව සොයා බැලීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම්වත් කළ බවත් පාදුක්ක පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක මහතා ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදුකරනු ලැබූහ.

මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි,

බණ්ඩාරගම – බිමල් ජයසිංහ සහ

නවගමුව – සමූහ සුගත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT