නීති විරෝධි දුම්වැටි ජාවාරමට එරෙහිව 2024 වසරේ මුල් මාස 6 තුළ සිදු කරන ලද මෙහෙයුම්වලදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද රුපියල් කෝටි හත හමාරකට (මිලියන 75කට) වැඩි වටිනාකමකින් යුතු දුම්වැටි මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීම ශ්‍රී ලංකා රේගුවේ අධීක්ෂණය යටතේ ලංකා දුම්කොළ සමාගම විසින් පෙරේදා (02) සිදු කරනු ලැබීය.
මේ වංචාවන් මඟින් වංචා කිරීමට තැත් කළ මුළු බදු ප්‍රමාණය රුපියල් මිලියන 480කට අධික බව රේගුව පවසයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉන්දියාව, කාම්බෝජය සහ චීනය වැනි රටවල සිට මේ දුම්වැටි තොගය ආනයනය කර ඇත්තේ ගුවන් මඟින් ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් යොදාගෙනය. කටුනායක ගුවන් තොටුපළේදී මේ අධි අවදානම් මගීන් හඳුනාගැනීමේදී ප්‍රත්‍යන්ත ආවේක්ෂණ මධ්‍යස්ථානය (Border Risk Assessment Center – BRAC) විසින් දක්වන ලද සහයද ඉතා වැදගත් විය.
අත්අඩංගුවට ගත් දුම්වැටි අතර Manchester, Benson & Hedges, Gold Leaf, Malboro, Dunhill, Esse, Platinum, Diamond යන වෙළෙඳ සන්නාම සහ චීන වෙළෙඳ සන්නාම කිහිපයක්ද වේ. රේගු ආඥා පනත යටතේ ජාවාරම්වලට සම්බන්ධ මඟීන්ට දඬුවම් දීමෙන් අනතුරුව මේ දුම්වැටි රාජසන්තක කර ඇත. රාජසන්තක කරන ලද මේ දුම්වැටි තොගය පාරිසරික ආරක්ෂාව මූලික කරගත් ජාතික නීතිවලට අනුකූල දැඩි රෙගුලාසි යටතේ විනාශ කෙරිණි. මේ දුම්වැටි තොගය විනාශ කිරීම, නීත්‍යනුකූල වෙළෙඳ මාර්ගවලට පටහැනිව සිදු කරනු ලබන නීතිවිරෝධි දුම්වැටි වෙළෙඳාමට එරෙහිව සටන් කිරීමේ පුළුල් උපාය මාර්ගයක කොටසක් බව රේගුව අවධාරණය කරයි.
සුභාෂිණී සේනානායක
කටුනායක ටී.කේ.ජී. කපිල