Saturday, May 10, 2025
Home » දේශබන්දු තෙන්නකෝන්ට නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන්නැයි අතරමැදි පාර්ශ්වයකින් පෙත්සමක්

දේශබන්දු තෙන්නකෝන්ට නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන්නැයි අතරමැදි පාර්ශ්වයකින් පෙත්සමක්

by mahesh
September 6, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

පොලිස්පති ධුරයේ රාජකාරී හා වගකීම් ඉටුකිරීමෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පාර්ශ්වයක් පෙත්සමක් ගොනුකර ඇත. බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි සහ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අගළකඩ සිරිසුමන හිමියන් මෙහි අතරමැදි පෙත්සම්කරුවෝ වෙති.

මැතිවරණයක් පැවැත්වීමේදී පොලිස්පතිවරයා වෙත ආරක්ෂාව සමඟම සුවිශේෂී රාජකාරි හා වගකීම් රාශියක් පැවරී ඇතැයි එම පෙත්සම මඟින් පෙන්වා දී ඇත. ලබන 21වැනිදා ජනාධිපතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් වන අතර ඊට අදාළ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විධාන නිකුත් කිරීමට මැතිවරණ කොමිසමට නොහැකි බවද පෙත්සමෙහි සඳහන් වේ.

මැතිවරණ කටයුතුවලට අවශ්‍ය පොලිස් නිලධාරීන් යෙදවීම සහ ඊට අදාළ ආරක්ෂක කටයුතු මෙන්ම පශ්චාත් මැතිවරණ කාලයේ නීතිය සහ සාමය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විධාන නිකුත් කිරීම සඳහා වන බලය පොලිස්පතිවරයා වෙත පමණක් පැවරී ඇති බව පෙත්සමෙහි සඳහන් වේ. එවැනි විධාන ක්‍රියාත්මක කිරීමට වෙනත් අයෙකුට නොහැකි බව ද පෙත්සම මඟින් පෙන්වාදී ඇත. එහෙත් දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම සහ පොලිස්පති ධුරයේ වැඩ බැලීමට වෙනත් නිලධාරියකු පත් නොකිරීම හේතුවෙන් මැතිවරණ සමයේ රට තුළ නීතිය සහ සාමය පවත්වාගෙන යෑම සහතික කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පෙත්සමයෙහි සඳහන් වේ. එබැවින් අදාළ අතුරු තහනම් නියෝගය ඉවත් කරන නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කාර හිමිවරු අධිකරණයෙන් තවදුරටත් ඉල්ලා සිටිති. මෙම පෙත්සම යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ හෙට දින (06) සලකා බැලීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT