Wednesday, March 26, 2025
Home » සුජීව සේනසිංහගේ පෙත්සම ඉවත දමන්න

සුජීව සේනසිංහගේ පෙත්සම ඉවත දමන්න

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉල්ලයි

by mahesh
September 6, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් තමන්ට එරෙහිව ආරම්භ කර ඇති විමර්ශනයක් අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා විසින් ගොනුකර ඇති පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (05) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම පෙත්සම නීතිමය පදනමකින් තොරව ඉදිරිපත් කර ඇති බව පෙන්වා දෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මෙම ඉල්ලීම සිදු කළේය.

එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුණි.

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා සඳහන් කළේ මෙම පෙත්සම වැරදි සහගත සහ පදනම් විරහිත කරුණු පදනම් කරගෙන ඉදිරිපත් කර ඇති බවය.

මෙම පෙත්සමෙහි සඳහන් කරුණුවලට සම්බන්ධ තවත් නඩුකරයක් මීට පෙර අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරඇති බව ඒ මහතා සඳහන් කළේය. මෙම පෙත්සම සම්බන්ධයෙන් කඩිනමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වය ඉදිරිපත් කරන කරුණු සලකා බැලීමෙන් පසුව අධිකරණය විසින් සුදුසු නියෝගයක් ලබාදෙන බව එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා මහතා එම අවස්ථාවේදී සඳහන් කළේය. අනතුරුව පෙත්සම වෙනත් දිනයක සලකා බැලීමට නියම කෙරිණ.

මෙහිදී පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT