නවගමුව නගර මධ්‍යයේ වසර 14කට පමණ පෙර ඉදිකරන ලද කඩ කාමර පහළොවකින් යුත් ගොඩනැඟිලි සංකීර්ණය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දැමීම පිළිබඳව ප්‍රදේශයේ ජනතාව සිය අප්‍රසාදය පළ කරති.
නවගමුව ශ්‍රී සුගත බිම්බාරාම විහාරස්ථානයට අයත් ඉඩමක එවකට නාගරික සංවර්ධන අමාත්‍යවරයාව සිටි ඉන්දික ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත සැලසුම් කර තිබූ මෙම ගොඩනැඟිලි සංකීර්ණය ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මඟින් රුපියල් ලක්ෂ හැටකට වැඩි මුදලක් වැය කර ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත.
වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පූජා භූමි සංවර්ධන සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාව සිටියදී වර්ෂ 2008 දී මුල්ගල් තබා 2010 වර්ෂයේදී මෙම ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කර ඇත. කඩ කාමර පහළොවකින් සමන්විත වූ මෙම ගොඩනැඟිලි සංකීර්ණයේ මේ වනවිට උප තැපැල් කාර්යාලය, පවුල් සෞඛ්‍ය සේවා කාර්යාලය සහ ආර්ථික සංවර්ධන නිලධාරි කාර්යාලය පිහිටුවා තිබුණද එම කාර්යාල ත්‍රිත්වයම ඉවත් කර ගන්නා ලෙස අදාළ ඉඩමට හිමිකම් කියනු ලබන නවගමුව ශ්‍රී සුගත බිම්බාරාම විහාරස්ථානය විසින් දැනුම් දී ඇතැයි ඔවුහු පවසති.
මේ වන විට අදාළ ගොඩනැඟිලි සංකලනයට ලබා දුන් විදුලි සම්බන්ධතා ද විසන්ධි කර ඇත.
මේ වනවිට අනිත් කඩ කාමර ඉදිරිපිට පුලන්නන්ගේ සහ වෙනත් අපචාර ක්‍රියාවන් සඳහා යොදාගන්නා මධ්‍යස්ථානයක් වී කැලෑවට යමින් විනාශ වීමෙන් පවතින බැවින් මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කොට ප්‍රදේශයට ඉතා වටිනා සම්පතක් වූ මෙම ගොඩනැඟිලි සංකීර්ණය ජනතාවට වැඩදායී අයුරින් පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ප්‍රදේශවාසී ජනතාව ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් නවගමුව ශ්‍රී සුගත බිම්බාරාම විහාරාධිපති කල්‍යාණි ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කැලණි පාර්ශවයේ මහා නායක මල්වානේ පඤ්ඤාසාර හිමියන්ගෙන් කළ විමසීමකදී මෙසේ පැවසූහ.
Òඔය කඩ කාමර පහළොව හැදුවේ නවගමුව දේවාලට එන බැතිමතුන්ට පූජා වට්ටි අලෙවි කරන වෙළෙඳුන් සඳහායි. තැපැල් කන්තෝරුවට ඒක පවත්වාගෙන යන්න තැනක් නෑ කිව්වහම සානුකම්පිතව හිතලා මම එතැන දුන්නා.
නමුත් එයාලගෙන් කිසිම ආදායමක් පන්සලට ලැබෙන්නේ නෑ.
අනිත් කාර්යාලවලට දුන්නෙත් එහෙම හිතලා තමයි. එම කාර්යාලවලින් කිසිම ආදායමක් නොලැබෙන නිසා මම එයාලට යන්න කියලා තියෙන්නේ. කඩ කාමර වහලා තියෙන එක ගැන එයාලට රුදාවක් තියෙන්න බෑ. තැපැල් කාර්යාලයයි ආර්ථික සංවර්ධන නිලධාරි පවුල් සෞඛ්‍ය සේවිකා යන අයයි ඔතැනින් ඉවත් වුණාට පස්සේ කඩ කාමර ටික නවීකරණය අලුත්වැඩියා කරලා පූජාවට්ටි අලෙවිකරුවන්ට දෙන්න බලාපොරොත්තුවක් තියෙනවාÓ.