Home » වෙ‍ෙළඳාමට මාළු ගෙන ඒමට යද්දී අයෙක් මරුට

වෙ‍ෙළඳාමට මාළු ගෙන ඒමට යද්දී අයෙක් මරුට

by mahesh
September 6, 2024 1:00 am 0 comment

කොට්ටාව - ප්‍රදීප් කුමාර

දෛනික වෙ‍ෙළඳාම සඳහා මාළු ගෙන ඒමට පෑලියගොඩ මාළු වෙ‍ෙළඳ සංකීර්ණයට යමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මාළු ව්‍යාපාරිකයෙකු සිය ලොරි රථය තුළදීම මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කුඩා උඩුව, උතුරු උඩුව, සේද ගොවිපළ අංක 215 /බී / 02 හි පදිංචි මුණසිංහ සිතුම් මනෝහර නමැති (27) එක් දරු පියකු බව පොලිසිය කියයි.

මෙම ව්‍යාපාරිකයා කුඩා උඩුව ප්‍රදේශයේ සිට සිය ලොරි රථයෙන් වෙ‍ෙළඳාමට මාළු ගෙන ඒමට දිනපතා පෑලියගොඩ මාළු වෙ‍ෙළඳ සංකීර්ණයට යන අතර (04) දා අලුයම සුපුරුදු පරිදි මාළු ගෙන ඒම සඳහා තනිවම කොළඹ බලා පිටත්ව ගොස් තිබේ.

ඒ යන අතරතුරදී එක් වරම ඔහුට හදිසි හෘදයාබාධයක් වැලඳී ඇති අතර ඒ බව දුරකතනයෙන් නිවැසියන් අමතා පවසා තිබේ.

පසුව නිවැසියන් පවසා ඇත්තේ අසනීප තත්ත්වය වැඩි වන්නේ නම් කොළඹ නොගොස් වහාම යළි නිවසට පැමිණෙන ලෙසයි.

ඒ අනුව කොළඹ නොගොස් යළි නිවසට පැමිණෙමින් සිටියදී කිරිවත්තුඩුව හන්දිය ආසන්නයේදී යළි අසනීප තත්ත්වය උග්‍ර වී තිබේ.

ලොරි රථය හොරණ මහරගම 280 බස් මාර්ගයේ කිරිවත්තුඩුව හන්දිය ආසන්නයේ පසෙක නවතා මදක් රැඳී සිටියදී මෙසේ මියගොස් ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මේ අතරතුර ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතනය ප්‍රතිචාර නොදැක්වීම නිසා සැකසීතූ නිවැසියන් ඔහු සොයා කුඩා උඩුව ප්‍රදේශයේ සිට කොළඹ දෙසට 280 බස් මාර්ගය ඔස්සේ එමින් සිටියදී කිරිවත්තුඩුව හන්දිය ආසන්නයේ මාර්ගයේ පසෙක ලොරි රථය නවතා තිබෙනු දැක ඒ අසලට ගොස් බැලීමේදී රිය අසුනේ හිඳිමින් වම්පසට ඇල වී වැටි සිටිනු දැක තිබේ. ඥාතින් ඔහු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මිය ගොස් ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

පසුව මියගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදු කළ අතර මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය දමිත් අත්තනායක මහතා විසින් සිදු කරන ලදි.

එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ හෘද වස්තුවේ කිරිටක ධමණි අවහිරවීමෙන් සිදුවූ මරණයක් බවට නිගමනය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT