Saturday, May 3, 2025
Home » වෙළඳපොළ අභියෝග මධ්‍යයේ වුවද SLT-MOBITEL 2024 පළමු අර්ධය තුළ සාමාන්‍ය ආදායම් වර්ධනයක් වාර්තා කරයි

වෙළඳපොළ අභියෝග මධ්‍යයේ වුවද SLT-MOBITEL 2024 පළමු අර්ධය තුළ සාමාන්‍ය ආදායම් වර්ධනයක් වාර්තා කරයි

by gayan
September 7, 2024 1:00 am 0 comment

SLT-MOBITEL 2024 වර්ෂයේ ප්‍රථම අර්ධය තුළ සිය ආදායමේ සාමාන්‍ය වර්ධනයක් වාර්තා කර ගැනීමට සමත් වී ඇත. එමෙන්ම පිරිවැය කළමනාකරණ වැඩසටහන් ඔස්සේ සිය පිරිවැය සීමා කර ගැනීමටද සමාගමට හැකි වී තිබේ. මෙම වර්ධනය, අභියෝගකාරී වෙළඳපොළ තත්ත්වයන් පැවැති අවස්ථාවක පවා හොඳින් එම අභියෝගවලට මුහුණ දීමට සහ අවශ්‍ය පරිදි අනුගත වීමට SLT-MOBITEL සමත් වී ඇති බවට සාක්ෂි දරයි. ආදායමේ වර්ධනය සහ පිරිවැය කළමනාකරණ වැඩසටහන් සාර්ථක වීම හේතුවෙන් සමාගමේ අංශ රැසක යහපත් ප්‍රවණතා දැකගැනීමට හැකි වී තිබේ.

2024 මුල් මාස 6 තුළ සමූහයේ ආදායම රු. බිලියන 53.5ක් වූ අතර, එය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 1.6% ක වර්ධනයකි. සමූහයේ දළ ලාභය 4.0% කින් වර්ධනය වී රු. බිලියන 20.9ක් ලෙස වාර්තා වී ඇති අතර, පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ 38.1% ක් වූ දළ ලාභාන්තිකය මෙම කාලසීමාව තුළදී 39.0% දක්වා ඉහළ ගොස් තිබේ. පාරිභෝගිකයන් ඉවත් වීම සහ නව සම්බන්ධතා සඳහා ඉල්ලු‍ම අඩුවීම වැනි වෙළඳපොළ අභියෝග හමුවේ පවා මෙම සාමාන්‍ය වර්ධනය වාර්තා කර ගැනීමට හැකි වී ඇත.

මෙම මාස 6ක කාලසීමාව තුළ සමූහයේ මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 17.1% කින් වර්ධනය වී රු. බිලියන 18.0ක් ලෙස වාර්තා වී ඇති අතර, මෙහෙයුම් ලාභය 54.5% කින් වර්ධනය වී රු. බිලියන 3.6ක් ලෙස වාර්තා වී තිබේ. මෙහෙයුම් ඉපැයුම් ලාභාන්තිකය 29.2% සිට 33.6% දක්වා වර්ධනය වී ඇති අතර, එය සේවා ප්‍රමිතිය අඛණ්ඩව පවත්වා ගන්නා අතරම මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට සමූහයට හැකි වී ඇති බවට මනා සාක්ෂියකි.

ප්‍රධාන වශයෙන් පොලී අනුපාත පහළ යාම නිසා සමූහයේ පොලී වියදම් 19.5% කින් පහළ යාම හේතුවෙන් මූල්‍ය වියදම් පහළ ගොස් ඇත. මෙමඟින් සමූහයේ ලාභය වර්ධනය වී ඇති අතර, 2023 ප්‍රථම අර්ධයේ වාර්තා වූ රු. මිලියන 1159ක අලාභයට සාපේක්ෂව මෙම කාලසීමාවේදී ශුද්ධ අලාභය රු. මිලියන 323කට සීමා වී තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ආදායම 2024 ප්‍රථම අර්ධයේදී 0.9% කින් වර්ධනය වී රු. බිලියන 35.0ක් ලෙස වාර්තා වී තිබේ. සමාගමේ මෙහෙයුම් ලාභය ද 2.9%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. වාර්ෂික නඩත්තු වියදම්, කුලී පදනම මත ලබාගැනීමේ වියදම් සහ අලු‍ත්වැඩියා හා නඩත්තු වියදම් ආදිය අවම කර ගැනීමේ ක්‍රමෝපායික උත්සාහ නිසා මෙහෙයුම් වියදම් අඩු වී ඇති අතර, එමඟින් සමස්ත ලාභදායීත්වය ඉහළ ගොස් තිබේ. පොලී අනුපාත පහළ යාම නිසා සමාගමේ මූල්‍ය වියදම් 27.2% කින් පහළ ගොස් ඇත. මේ නිසා 2023 ප්‍රථම අර්ධය තුළ වාර්තා කළ රු. මිලියන 401ක අලාභයට සාපේක්ෂව මෙම කාලසීමාව තුළදී රු. මිලියන 272 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමාගමට හැකියාව ලැබිණි. ක්‍රමෝපායික වැඩසටහන් ක්‍රියාවට නැංවීම තුළින් අනාගත වර්ධනය සහ තිරසරත්වය ළඟා කර ගැනීම සමාගමේ ඉලක්කය වී තිබේ. මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පිරිවැය කළමනාකරණය සඳහා දැනට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් ඔස්සේ ඉදිරියේදී වෙළඳපො‍ෙළ් සිදුවන වෙනස්කම්වලට මැනවින් අනුගත වෙමින්, තම පාර්ශ්වකරුවන්ට දීර්ඝකාලීන වටිනාකම් තිළිණ කිරීමේ හැකියාව SLT-MOBITEL සතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT