පැරිස් ඔලිම්පික් උලෙළ අතරේ තවත් තරගයක් ප්‍රංශ දේශපාලන පිටියේ පැවැත්වෙමින් තිබුණි. දින හැටක් ඇතුළත නව අගමැතිවරයෙක් පත් කර ගැනීම සඳහා ජනාධිපති මැක්‍රෝන් තීරණයක් ගත යුතුව තිබුණි.
දේශපාලන අස්ථාවරභාවය ප්‍රංශය ඇතුළේ කුණාටුවක් සේ හමා යෑමට පටන් ගත්තේය. 2024 ජනවාරි 9 වැනිදා අර්බුදයේ එක් ස්ථානයකදී එලිසබෙත් බෝර්න් වෙනුවට අගමැති තනතුර සඳහා ගේබ්රියෙල් ඇටල් පත්වන්නේය. ඇටෙන් පොත්තෙන් එළියට ආ සැණින් ප්‍රංශ අගමැති පුටුවේ වාඩිවීමේ භාග්‍යය ඔහු ලද්දේය. හෙතෙම වයස අවුරුදු තිස්හතරක නාඹරයෙකි. ප්‍රංශ අගමැති ලෙස සේවය කළ ළාබාලතම පුද්ගලයා ද විය. එවැනි භාර ධූර්යය තනතුරක් ලත් පළමු විවෘත සම රිසි චරිතය වූයේ ද හේ ය.
පැවති දේශපාලන අසහනය හමුවේ, 2024 ජූනි මාසයේදී, මැක්‍රෝන් ජාතික සභාව විසුරුවා හැරියේය. 2024 යුරෝපීය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහුගේ දේශපාලන සන්ධානය ලැබූ පරාජයෙන් පසු හදිසි මැතිවරණයක් කැඳවීය. ඡන්දයේ ප්‍රතිඵලය වූයේ එල්ලෙන පාර්ලිමේන්තුවකි. වැඩේ අටවාගෙන හෝ ගෙන යා හැකි තත්ත්වයක නොතිබුණේ බැවින් ඇටල්ට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය. පැරිස් ඔලිම්පික් තරගය මධ්‍යයේ, ප්‍රංශයේ පැවති දේශපාලන තරගය එයය. සැප්තැම්බර් 5 වැනිදා නව අගමැති ලෙස මයිකල් බාර්නියර් පත් වන්නේ රේස් එකේ තවත් කඩඉමක් ලෙසය.
ප්‍රංශය අද සිරව ඇත්තේ දේශපාලන අර්බුදයක පමණක් නොවේ. ආර්ථික අතින්ද එය සිටින්නේ සෙලවෙන පලංචියකය. එහෙව් ආකාරයේ රටක් අප ද කලකට පෙර අත්දකින ලද්දේ හෙයින් මේ තීරුවේ අද අවධාරණය, රටේ ස්ථාවරත්වය පිළිබඳවය.
විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ නිර්මාණය කිරීම සඳහා ජේ. ආර්. ජයවර්ධන ආදර්ශය ලබා ගන්නේ ‘ප්‍රංශයේ ජනාධිපති’ දෙස බලාය. ජේ.ආර්. ගේ අදහස කොළයට ගෙන කෙටුම්පත සකසන මහාචාර්ය ඒ.ජේ. විල්සන් ප්‍රංශ ජනාධිපතිගේ හැඩරුව බලා ඊටත් එහා යන බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිට ලබා දුන්නේය. එය දේශපාලන සිතියම සඳහා ප්‍රයෝජනවත් කාර්යයක් සේම, රටේ ආර්ථිකය සඳහා ස්ථාවර දේශපාලන වටපිටාවක් නිර්මාණය වන පසුබිමක් විය.
විධායක ජනාධිපති තනතුර ඇතුළත් වන්නේ දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටය. එය ක්‍රියාත්මකභාවය සඳහා පැමිණියේ 1978 සැප්තැම්බර් 7 වැනි දාය. ඒ අනුව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිගේ වයස අදට අවුරුදු හතළිස් හයකි. මේ තනතුරට ‘හැපී බර්ත් ඩේ’ කියා සුබ පැතිය හැකිය. කාලයෙන් කාලයට විරෝධතා පෙළ ගැසී’ අහෝසි කිරීමට ඔන්න මෙන්න තිබියදී පවා, එය තවම යෙහෙන් වැජඹෙන්නේය. දෙවැනි ජාතික රාජ්‍ය සභාව වෙනුවට ප්‍රථම පාර්ලිමේන්තුව පිහිටුවමින් ස්ථාපිත වූ දෙවැනි ජනරජ ව්‍යවස්ථාවේ එන විධායක ජනාධිපතිවරයා දැන් අපට වසර හතළිස් හයක් පුරා ආශ්‍රය කිරීමට ලැබී තිබේ. තව දෙසතියකින් එන ඡන්දය, ඒ සඳහා වන ඊළඟ පුද්ගලයා තෝරා ගැනීමේ වරණයය.
රටේ ජනාධිපතිකම සුබ සහ යස නාට්‍ය නොවේ. විහිළුවට හෝ අත්හදා බැලීම පිණිස මෙම වරණය උපයෝගි කර ගැනීමේ භයානක ප්‍රතිඵලය අත්විඳින්නේ රටේ සතා සිව්පාවාගේ පටන් සියලු දෙනාය. ‘යසලාලක රජ සිනා පිණිස ඒ ශුභ නම් බලවතා රාජාභරණයෙන් සරසා පර්යාංකයෙහි හිඳුවා බලවතාගේ හිස් වෙළුම සිය හිස ලාගෙන අතින් යෂ්ටිය ගෙන තෙමේ දොර වෙත සිටියේය. අස්නෙ හි උන් ඔහුට ඇමතියන් වඳනා කල්හි රජ තෙමේ සිනාසෙයි’ යනුවෙන් මහාවංශයේ විස්තර වන්නේ අත්හදා බැලීමක් සඳහා ගිය ගමනක විස්තරයය.
රාජ්‍යය යනු විහිළු සපයන මධ්‍යස්ථානයක් හෝ දේශපාලන පර්යේෂණාගාරයක් නොවන්නේය. එය ස්ථාවර නොවන්නේ නම්, එතැන් සිට ආර්ථිකය ආදියේ පටන් සියල්ල අස්ථාවරය. අප වසර දෙකකට පෙර ජීවත් වූයේ රටක නොව නරකාදියකය. හිඟයකින් තොරව රටේ තිබුණේ සෝසුසුම් සහ අඳෝනා පමණය.
මූල්‍ය අරමුදල වෙත යෑම හැර අන් සරණක් නොතිබුණු රටක් අද එම රාමුව සමඟ සිය මාවත ස්ථිරසාර ලෙස සකසාගෙන ඇත්තේය. එහෙව් ගමනක ආපසු හැරවීම යනු රට යළි බිමට පහත් කිරීම සඳහා සිදු කළ හැකි හොඳම දෙයය. භූතානය, නේපාලය නොසලකා හැරි විට, දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් මේ වන විට අර්බුදයකින් තොරව ඉදිරියට යන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පමණය. පාකිස්තානය පත්තුවී ඇත්තේ කාලයක පටන්ය. බංග්ලාදේශය ඉන්නා තැන කියන්න දන්නා කෙනෙක් නැත. ඒ රටේ සමස්ත මූල්‍ය පද්ධතියම සෙල්ලම් ගෙදරක් වී හමාරය. කොල්ලෝ කුරුට්ටෝ පාරේ ට්‍රැෆික් කරනා ආකාරයටම, මහ බැංකුව ආදිය ද පාලනය කරමින් යන්නාහ. සියලු කර්මාත්න රටින් පිටව යන්නේ මැෂින් ද ගලවාගෙනය.
මාලදිවයිනට බියක් තිබුණේ ග්ලැසියර දියවී, එම දූපත් රාජ්‍ය මුහුදට යටවී යැයි යන්නය. ඒ අනතුර තවම නැත්තේ මුත්, මාලදිවයිනේ ආර්ථිකය වද මල් මාලයක් කරේ දමා දැන් සිටින්නේ ‘දංගෙඩියට’ ගෙන යන ගමනේය.
එහෙව් අවුල් වියවුල් මැද, අර්බුදයෙන් නැඟී සිටීම නම් හාස්කම අප පෙන්වා හමාරය. මේ මාර්ගයේ ආයෙත් වංගු ගැසීමට ගියහොත් රට යන්නේ බැම්ම ද කඩාගෙන ප්‍රපාතයට බව සිහි කැඳවා ගත යුත්තේය.