ශ්‍රී ලංකාවේ.සාමාන්‍ය වාර්ෂික ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික්ටොන් 23,000ක් පමණ වේ. නමුත් පසුගිය වසරේදී මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික්ටොන් 30,000 ඉක්මවා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරයි.
2019 න් පසු මෙරට ගම්මිරිස් වගාවේ ඉහළම අස්වැන්න 2023 වර්ෂයේ වාර්තා කිරීමට හැකි වී ඇත්තේ ගම්මිරිස් වගාව සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම, සහනාධාර ලබා දීම මෙන්ම පසුගිය වර්ෂයේ පැවති වියළි කාලගුණික තත්ත්වයෙන් පසුව ඇති වූ දීර්ඝ වැසි සහිත කාලගුණික තත්ත්වය බව ද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී.පී මහත්මිය පවසයි.
සාමාන්‍යයෙන් අස්වැන්න ඉහළ ගියපසු මිල පහළයාම වෙළෙඳපොළ න්‍යායයි.නමුත් මෙවර ගම්මිරිස් අස්වැන්න ඉහළ යාමට සමගාමීව ඉතිහාසයේ ගම්මිරිස් සඳහා ලද ඉහළම මිල ලබා ගැනීමටද ගොවියන්ට හැකිවුණා. මේ පිළිබඳව ගම්මිරිස් ගොවියන් මෙන්ම මිල දී ගන්නන්ද අදහස් ඉදිරිපත් කළේ මහත් උද්‍යෝගයකින් යුතුවයි.
” ගම්මිරිස්” යනු ගමේ මිරිස් යන අරුතින් සැකසුණු වචනයකි. හාල් පොලු, මිරිස් පොලු පැවති කාලයේ මිරිස් ආනයනය සීමා වී තිබිණි. මිරිස් අතීතය පිළිබඳව සිහිපත් කරන වැඩිහිටියන් පවසන්නේ බාගෙට පැසුණු ගම්මිරිස් අඹරා ව්‍යංජන සඳහා යෙදූ බවයි.
මේ කතාව ඒ කිසිවක් ගැන නම් නොවේ. මෙවර ගම්මිරිස් වගාවෙන් ඉහළ අස්වැන්නක් මෙන්ම ඒ සඳහා ඉහළ මිලක් ලැබී තිබේ. ඩොලර් හිඟයට පිළිතුරක් වන ගම්මිරිස් ඩොලර් උපයන අමුද්‍රව්‍යයක් බවට පත්කිරීමේ අවශ්‍යතාව පිළිබඳවයි ගම්මිරිස් උපන් රට ලෙස සලකන්නේ ඉන්දියාවයි. මෙරට ප්‍රධාන වශයෙන් ගම්මිරිස් වගා කරනු ලබන්නේ පහතරට හා මැදරට සහ අතරමැදි කෘෂි දේශගුණික කලාපවලයි. ඒ අනුව කුරුණෑගල, මාතලේ, මහනුවර, කෑගල්ල, බදුල්ල, රත්නපුර, මොනරාගල යන දිස්ත්‍රික්ක ගම්මිරිස් වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක ලෙසින් දැක්විය හැකියි. මෙරට ගම්මිරිස් වගාකර ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 75000කි.
මාතලේ අකුරන්ගොඩ ඒකනායක මහත්මිය –
“මේ කන්නයේ ගම්මිරිස් ගොවීන්ට සරුයි. හැමෝටම හොඳ අස්වැන්නක් ලැබුණා. අස්වැන්න හොඳ මිලකට විකුණා ගැනීමටත් අවස්ථාව ලැබුණා. ඒ නිසා ගොවියෝ කවුරුත් සතුටින්. මට අක්කර 15ක පමණ ඉඩම් තිබෙනවා. මතක ඇති කාලෙකින් අක්කරයකින් කිලෝ 2500ක් පමණ අස්වැන්නක් ලැබී තිබුණේ නෑ. එවන් අස්වැන්නක් ලැබුණේ ගිය කන්නයේදී පමණයි. මේ ගැන අපි ස්තුතිය පළ කරන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටයි.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් හොඳ අස්වැන්නක් ගැනීමට කළ යුතු පිළියම් පිළිබඳව උපදෙස් ලැබුණා. ගම්මිරිස් වැල් නඩත්තු කිරීම ප්‍රමාණවත් හිරු එළියක් ලැබීමට සැලැස්වීම, වැඩි අස්වැන්නක් සඳහා පොහොර යෙදීම වැනි කරුණු පමණක් නොවේ. අස්වනු නෙළීම, ගබඩා කිරීම, වේළීම වැනි කරුණු පිළිබඳවත් දැනුම ලබා දුන්නා.”
රත්නායක මහතා – විශ්‍රාමලත් විදුහල්පති –
“මගේ වත්තේ ගමිමිරිස් වැල් 50ක් විතර තිබෙනවා. මේ කන්නයේ ගොවීන් හැමෝටම වගේම මටත් හොඳ අස්වැන්නක් ලැබුණා. කලින් අක්කරයකින් ලක්ෂ එකහමාරක් පමණ ගත්ත ගොවීන්ට මේ කන්නයේදී ලක්ෂ හයක්, හතක් උපයාගැනීමට ලැබුණා. ඊට හේතුව ගම්මිරිස් සඳහා ලෝක වෙළෙඳපොළෙහි හොඳ මිලක් නියම වීමයි. මෙහි වාසිය ගොවියන්ට අත්වීම සැබවින්ම සතුටට කරුණක් .මේ තත්ත්වය තවදුරටත් වර්ධනය කළ හැකි නම් වඩාත් වැදගත් බවයි මගේ අදහස.”
සම්පත් ලියනගේ – පල්ලේපොළ සමූපකාර සමිතියේ සභාපති-
“ගමිමිරිස් ලෝක වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් තිබෙන භෝගයක්. අපේ රටේ ගම්මිරිස්වල රසය සුවිශේෂියි. ඒ රසය සඳහා වෙළෙඳපොළ වටිනාකම හිමිකර ගැනීමයි වැදගත්. ඒ සඳහා ගම්මිරිස් ඇට ලෙසටම අපනයනය කිරීම පසෙක තබා ලෝක වෙළෙඳපොළ වෙත අගය එකතුකළ නිෂ්පාදනයන් ලෙස ගම්මිරිස් ඉදිරිපත් කිරීමට අවශ්‍ය දැනුම සහ දැක්ම සොයාගත යුතු වෙනවා.
පසුගිය කාලයේ ගම්මිරිස් අලෙවි වුණේ රුපියල් 160ත් 200ත් අතර මිලකට. නමුත් ඒ මිල රුපියල් 600-700ක් අතර මිලකට අලෙවි වුණා. මාතලේ දිස්ත්‍රිකයේ මෙන්ම රටේම ගමිමිරිස් මිල ස්ථාවරව පවත්වා ගැනීමට වගේම ගොවියාට හොඳ මිලක් ලබාදෙන අදහසින් මේ කන්නයේදී අපගේ පල්ලෙපොළ සමුපකාර සමිතිය මැදිහත්වෙලා ගම්මිරිස් මිල දී ගැනීම සිදුකළා.
ඒ නිසා මිල දී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවන අක්‍රමිකතා පාලනය කිරීමට හැකිවුණා. මෙවර ගොවියාට හොඳ මිලක් ලබා දීමට අප සමුපකාර සමිතිය කළ මැදිහත්වීම වැදගත්.
මාතලේ ප්‍රදේශයේ වැඩි වශයෙන් වගා කරන්නේ තේ, කුරුඳු, කෝපි, කොකෝවා, ගමිමිරිස්, එනසල් ආදී අපනයන කෘෂිකර්ම භෝගයි. මේ වගාවන් සම්බන්ධයෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් සමීපව කටයුතු කරනවා. වගාවක් ඇරඹීමේ සිට නඩත්තුව රෝග පාලනය, වැඩි අස්වැන්නක් ලබා ගැනීම, අස්වනු නෙළීම සහ අලෙවිය තෙක් සුරක්ෂිතව ගුණාත්මකබව ආරක්ෂාකර ගැනීම ආදී සියලු කරුණු පැහැදිලි කර දෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඒ අයගේ දැනුම ගොවි මහතුන්ගේ අත්දැකීම් සමඟ එක්වූ විට සාර්ථක වගාවක් සඳහා පසුබිම සකසාගත හැකියි. මෙවර ලද සාර්ථකත්වයේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය සිහිකරන්නේ කෘතවේදීවයි.
මේ ආකාරයෙන් ඉදිරි කන්නවලදීත් හොඳ අස්වැන්නක් වගේම හොඳ මිලක් ලබා ගැනීම සැමගේ අපේක්ෂාවයි.”
කුළුබඩු ලොවේ රජු ලෙස විරුදාවලිය ලබන්නේ ගම්මිරිස්ය. කුළුබඩු ලොවේ රැජින වන්නේ කුරුඳු භෝගයයි. බටහිර සංකල්පයට අනුව රැජින සිටින්නේ රජුට ඉහළිනි. කුරුඳු හා ගම්මිරිස් අතර උස් පහත්කම් වටිනාකම් තීරණය වී ඇත්තේත් ඒ අනුවයි.
අපනයන කෘෂි බෝග අතර ගම්මිරිස්වලට ලෝකයේ කුළුබඩු අතර හිමිවන්නේ ප්‍රධානම ස්ථානයයි. ලෝක වෙළඳපොළේ පවත්නා අධික ඉල්ලුමත් සමඟ ගම්මිරිස් වගාකරන සෑම රටකම වගා බිම් ප්‍රමාණය සහ නිෂ්පාදනය පමණක් නොව අපනයන පරිමාව පවා පසුගිය වසර කීපය තුළ ඉතා වේගයෙන් වැඩි වී තිබේ.
ගම්මිරිස් වගාකරන ප්‍රධාන රටවල් වන වියට්නාමය, බ්‍රසීලය, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව සහ චීනය යන රටවල් හැරුණු විට ඉක්වදෝර්, මෙක්සිකෝ, කොස්ටරිකා සහ පේරු වැනි ඇතැම් උතුරු, මධ්‍යම හා දකුණු ඇමෙරිකානු රටවලද ගම්මිරිස් වගාව ආරම්භ විය.
කෙසේවෙතත් අපගේ නිෂ්පාදනය තවදුරටත් ඉහළ දැමිය හැකිනම් ඒ සඳහා ලෝක වෙළෙඳපොළෙහි ඉල්ලුම නොනැසී තිබේ. ඩොලර් ඉපැයීමට නම් ඒ වෙළෙඳපොළ වෙත සැපයීම් පුළුල් කළ යුතු වෙයි.
සටහන – බුද්ධිකා බ්‍රාහ්මණගේ