හයේ කණුවෙ ඉඩම….
තූරල්වෙමින් තිබූ වැස්සෙම අක්කා ගෙට ගොඩවුණේ ටිමියට බැණගෙන
“පලයන් යන්න මෙතන ලැගල ඉන්නැතුව…. පර බල්ලා”
කියපු දේවල් නම් ඇත්ත ටිමිය මෙහේ ලැග්ගට උගෙ අයිතිය තිබ්බෙ එහා ගෙදර අයට. ඒත් ඉතින් සත්තුන්ට තේරෙනවයැ ඔය අයිතිවාසිකම්.
කොස් ඇට අග්ගලාවෙ ලුණු මදිපාඩු කියමින් අග්ගලා දෙකතුනකට වගකියන ගමන් අක්කා පටන් ගත්තෙ සුපුරුදු මාතෘකාව.” මං යනව අද හෙටම අරකි හම්බෙන්න…
ගිහින් ඉල්ලනව මගේ කොටහ
“අරකි කිව්වෙ” මං ඇහුවෙ නොදන්න ගානට
“ඇයි තාත්තව හූරන් කාපු එකී”
දැන්නම් මේ කතාවෙන් ලිස්සල යනව බොරු.
“කන්න අඳින්න අඩුවකුත් නැතුව මොනාට හොයන් යනවද ඔය මනුස්සයාගෙ වගතුග, ඉන්න තැනක පාඩුවෙ ඉන්න දෙනව මිසක, ඔයින් අර මැරිච්ච තාත්තටත් පව් රැස් වෙනවා.”
“අනේ උඹට එපා නං හිටහං”
කිව්වත් වගේ මං කටවහගත්තා. කියන ගානට උත්තර බඳින්න ගියොත් ඔය කතා බහ ඉවර නොවෙන වග මං අත්දැකීමෙන් දැනන් හිටියා.
අක්කා ඔය හොයන් යන්න හදන්නේ තාත්තාගෙ සම්බන්ධයක් තිබුණා කියන ගෑනු කෙනෙක්. ඒ සම්බන්ධතාවය මොනවගේ පදනමකද කියන්න තරම් මට වැටහීමක් නොතිබුණත්, ඒ ගැහැනු කෙනා ගැන මගේ හිතේ තිබුණෙ අප්‍රසාදයක්. මට හිතුනෙම අපේ ආදරේ කොටසක් හොරාගන්න ආපු හැතිරියක් විදිහට.
අම්මා නිතරම ඒ ගැන ආඩපාලි කියන්න ගත්තම තාත්ත නෙවෙයි වචනයක්වත් කිව්වෙ. මොකුත්ම නොකියද්දි අම්ම තවත් කේන්ති ගත්ත මට මතකයි. එහෙම දවසක තමයි තාත්තා ගෙදරින් එළියට බැහැල ගියේ.
ගමේ අය අහන දේවල්වලට උත්තර දෙන්න වෙන හින්දා ඉන් පස්සෙ අම්මා ගෙදරින් එළියට යන ගමන් අඩුවුණා. බෙහෙතක් හේතක් ගන්න මිසක අම්මා ගෙයින් එළියට ගියේම නැති තරම්.
ඒත්, අපෙන්, ඒ කිව්වෙ අක්කගෙන් සහ මගෙන් වටින් ගොඩින් තාත්තා ගැන අහපු, අපි නැති තැන තම රස පදමට ලුණු ඇඹුල් ඇතිව කතා ගොතපු ඈයො ඕන තරම් හිටිය.
කාලයත් එක්ක ඕවට හුරුවුණා වගේම ඒ කතා කියන අය ගැන බොහොම ඇල්මැරුණු ප්‍රතිචාර දක්වන්නත් මං පුරුදු වුණා. “අනේ කියන එකෙක් ඕන දෙයක් කියා ගත්තාවෙ” කියලයි මගේ හිත මට කිව්වෙ. අනික ඕව ගැන හිත හිත හගිස්සනවට වඩා මට මගේ මානසික නිදහස වැදගත් වුණා.
ඒත් අක්කා ඒ ගැන දැරුවෙ බොහොම ආවේගශීලී අදහසක්, කොහොමත් අපි දෙන්නගෙ සිතුම් පැතුම් පරස්පරයි. කතා කියන අය එක්ක රණ්ඩු වෙන්න වගේම ඒ ගෙවල්වලට ගිහින් බැණල එන්නත් අක්කා දෙපාරක් හිතුවෙ නෑ. එහෙම දවසක තාත්තට වගේම අම්මටත් අක්කා දොස් කිව්වෙ තාත්තට බුරුල දුන්නා වැඩියි කියලා. ඒත් අම්මා නෙවෙයි ඒ කිසි දේකට උත්තර දුන්නෙ. එයා සුපුරුදු නිහඬ ව්‍රතයෙම හිටියා.
ඔය අතරෙ දවසක ආරංචියක් ආව තාත්තා හදිසියේ අසනීප වෙලා මහ ඉස්පිරිතාලේ නවත්තලා කියලා. මොන වැරදි අඩුපාඩු තිබුණත් ඒ වෙලාවෙ අපි කාටත් වුවමනා වුණේ පුළුවන් ඉක්මනින් තාත්තා ළඟට යන්න. ඒ පණිවුඩය ලැබුණෙ දවල් කෑම වෙලාවට වගේ මට මතක අක්කයි මමයි කතා වුණේ හවස ලෙඩ්ඩු බලන වෙලාවට තාත්තා බලන්න යන්න.
උණුවතුර බෝතලේට තේකකුත් දාගෙන අපි දෙන්න ඉස්පිරිතාලෙට ගියා නෙවෙයි දිව්ව.
අපිව දැක්කම තාත්ත ළඟ මොනවද කිය කිය හිටපු අර ගෑනි කරන්ට් වැදිච්ච ගානට අයින් වුණා. තාත්තාගෙ එක කකුලක් දණිස්ස ගාවටම බැන්ඩේජ් කරල. ඒත් මූණෙ තිබුණෙ වේදනාවක් නම් නෙවෙයි, මට හිතුනෙ ඒක අසරණ කම එක්ක මුහුවෙච්ච ලැජ්ජාවක් කියලයි.
“පුතේ….” තාත්තා කතා කළේ අමාරුවෙන්. කොහොමත් තාත්ත පොඩි අක්කට දුවේ කියල කතා කරන්නෑ පුතා කියනව මිසක්. වචනයක් කතා නොකරත් අක්ක තාත්තට කවන පොවන දේ පවා කළා. ඒ හැම වතාවකම අර ගෑනු කෙනා ඈතට වෙලා බලන් හිටියා.
අපි නොගිය හැමදාමත් එයා තාත්තට සාත්තු සප්පායම් කරපු බව අවට ඇඳන්වල කට්ටිය මට කිව්ව. මට ඒ ගෑනු කෙනා (නම සමදරා බව තාත්තා වරක් කිව්ව) ගැන තිබුණු නොරිස්සුම ටිකින් ටික අඩුවෙලා යනව වගේ දැනුණා. මාසයකට ආසන්න කාලයක් තාත්තට ඉස්පිරිතාලේ ඉන්න වුණා. ඒත් අපිට හැමදාම බලන්න යන්න නම් බැරි වුණා.
තාත්තා සනීපවුණාට පස්සෙ අපේ ගෙදර එයි කියල මං හිතාගෙන හිටියත් තාත්ත ආයෙමත් ගියේ අර ගෑනු කෙනා ගාවටමයි. සමහර විට තාත්තට එතන සැනසීමක් තියෙන්න ඇති.
මට සතුට සැනසීම කියල දැනුනෙ හොඳ පරිවර්තන පොතක් එක්ක ලොකු කැෂූ නට් එකක් රස බලන එක නැත්තං මගේ යාළුවෝ සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් එක එහෙමත් නැත්තං මගේ හොඳම යාළුවත් එක්ක වැහි වැටෙන හැන්දෑවක කෝපි එකක් බොන එක වගේ දෙයක් සමහර වෙලාවට සැනසීම කියල මං හිතන දේ ඇත්තම සැනසීම නොවෙන්න ඇති. මං පුරුදු වෙලා ඉන්නෙ පුංචිම දේවල්වලින් සතුටු වෙන්න. හැබැයි ඒ වගේම පුංචිම දේවල්වලින් හිතට දුක පුරවගන්නත් මං හරිම දක්ෂයි. තාත්තට වුණත් එයාගෙ සතුට සැනසීම තිබුණෙ අපි අතරෙ නොවෙන්න ඇති. පුංචි කාලෙ ඉඳලම තාත්ත ගැන මගේ හිතේ තිබුණෙ ලොකු ගෞරවයක් මුසුවුණ ආදරයක් ඒක ඇතුළෙ බය කියන වචනෙට ඉඩක් තිබුණෙම නැහැ.
මට මතකයි ඉස්කෝලෙදි වෙන සමහර සිදුවීම් මං කිව්වෙ තාත්තා එක්ක අම්ම එක්ක කිසි දෙයක් කියන්න බෑ අම්මා ඉක්මනින් කලබල වෙන හදිසි තීරණ ගන්න කෙනෙක්. උසස් පෙළ පන්තිවලදි මට පිරිමි ළමයෙක් ලියුමක් දුන්න කියල අම්මා නටපු තොවිලෙ මට තාම මතකයි. ඒකට වැඩිපුරම පොහොර දැම්මෙ පොඩි අක්කා එයාට කොහොමත් මගෙත් එක්ක ලොකු තරගයක් තිබ්බා. එයාට නොලැබුණ යමක් මට ලැබෙනවාට එයා කොහොමටවත් කැමති වුණේ නෑ. සමහර වෙලාවට මගේ හිත තේරුම්ගත්ත එකම හිතෛෂිවන්තයා තාත්තා වෙන්න ඇති කියල මට දැන් හිතෙනවා. තාත්ත ගෙදරින් නොගිය නම් අදටත් මගේ හොඳම යාළුවා තාත්තා. ඒකටත් එක්ක අර සමදරා කියන ගෑනි තාත්තව රවට්ටගත්තෙ නැත්තං අදටත් අපි කොච්චර ලස්සන පවුලක්ද ?
මං කල්පනා ලෝකෙන් බිමට වැටුණෙ දොරේ බෙල් එක වදින හඬින්.
“පොඩ්ඩි බලනවා කවුද කියලා..”
“හරි හරි මං බලන්නම්” අක්කටත් ගස්සගෙන මං සාලෙ දිහාට ගියේ මේ වෙලාවෙ කවුද එන්නෙ කියල
හිතෙන් මුමුනන ගමන්.
ඇවිත් හිටියෙ කුරියර් සර්විස් එකකින් මගේ නමට තිබුණ ලොකු ලියුම් කවරයක් භාර දීලා අත්සන් අරන් ඒ මනුස්සයා ගියාට පස්සෙ මං ලියුම් කවරය විවෘත කළේ ලොකු කුතුහලයකින්.
ආදරණීය පොඩ්ඩි,
මේ ලිපිය දකිද්දි මං ඔයාලා අතර නැහැ. ඒත් මගෙ ආදරේ අඩුවක් නැහැ. මං කිසිම දෙයක් නිසා පසුතැවෙන්නෙ නැහැ. මං හැමදාමත් කළේ මට හරියි කියල හිතුන දේ. මේ සමඟ තියෙන ඔප්පුව මං ඔයාගෙ නමට ලියල තියෙන්නේ. මේකත් මට හිතුන දෙයක්. කවදහරි මං නැති දවසක මේව ඔයාගෙ අතටම ලැබෙන්න සලස්වනව කියලා මං සමදරාගෙන් පොරොන්දුවක් අරන් තියෙන්නෙ.
සතුටින් ඉන්න.
තෙරුවන් සරණයි
මීට
ආදරණීය තාත්තා
මම ඒ ලිපිය අරන් ගාට ගාට ගියේ පොඩි අක්ක ගාවට. ඇත්තටම මට හිතාගන්න බෑ එයා ඒකට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයි ද කියලා.
ඒ අතරෙදිත් පොඩි අක්කා බෙරිහන් දෙනව
“මොකාද බං ආවෙ”
“අක්කෙ… මේ…. මේ….”
“ තෙපරබාන්නැතූව කියහන් බං”
“කුරියර් එකක්”
“කාටද”
“මට”
“උඹට මොනවද බං කුරියර් කරල එවන්න තියෙන්නෙ… අනික මොකා එවන්නද…?
මං මොකුත් නොකියා ලියුමයි කවරෙයි දික්කළා….
“ හපොයි…., මේ කරල තියෙන්නෙ යසට…” එච්චරයි පොඩි අක්ක කිව්වෙ…
ගස්සගෙන, දොරත් හයියෙන්ම වහගෙන පොඩි අක්ක යන්න ගියා.
සිද්ධිය බලන් උන්නු අම්මා. මං දිහා බැලුවෙ “උඹ ඕව ගනන් ගන්නෙපා” කියන්න වගේ…
ඒත් එක්කම අක්කා විසිකරලා වගේ දාලා ගිය කවරෙ මං ආයෙමත් අතට ගත්තා. ඒකෙ ඇතුළෙ ඔප්පුවට අමතරව තව කොළයක් තිබුණා. මං ඉක්මනින් ඒක එළියට ගත්තෙ තාත්තගෙ අකුරු කියවන්න බලාගෙන, ඒත් ඒකෙ තිබුණෙ ගෑනු අත් අකුරු
ආදරණීය පොඩ්ඩි
මං ඔයාට පොඩ්ඩි කියන්නෙ පුරුද්දට. තාත්තා ජීවත් වෙලා ඉද්දි කියපු දේවල් අතරෙ වැඩි පුරම කිව්වෙ ඔයා ගැන.
මං ගැන හරියටම නොදැන වුණත් ඔයා මට ටිකක් හරි කරුණාවන්ත වුණා. ඒකට ගොඩක් පින්.
මටය කියලා මේ ලෝකෙ කාත් කවුරුවත් නෑ, හිටියෙ ඔයාගෙ තාත්ත නිහාල් විතරයි. මට නිහාල් ජීවත්වෙලා ඉද්දි එයාගෙ නිර්දෝෂී බව ඔප්පු කරන්න බැරි වුණාට සමාවෙන්න. ඒත් මේ මොහොතෙවත් ඒක නොකළොත් මට සැනසීමක් නැතිවෙයි.
පොඩ්ඩි, නිහාල් මගෙ හොඳම යාළුවා, ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම. මං හැදුනෙ අනාථ නිවාසෙක ඒ බව දැනගෙන පන්තියේ ළමයි මාව කොන් කරද්දී මගේ පැත්තට හිටියෙ නිහාල් විතරයි.
මං උසස් පෙළ කරල රස්සාවකට ගියේ අවුරුදු 18න් පස්සේ නිවාසෙන් අයින්වෙන්න වුණ හින්දා.
ඔය අතරෙ අඳුරගත්ත කෙනෙක් එක්ක මගේ සම්බන්ධයක් ඇතිවුණා. එයා සමන්ත. සමන්ත ඇත්තටම හොඳ කෙනෙක්. අපි කසාද බැන්දෙ සමන්තගෙ ගෙවල්වල අයගේ අකමැත්තෙන්. එයාලා කැමති වුණේ නෑ කාත් කවුරුවත් නැති මාව ඒ ගෙදරට වද්දගන්න. එතනදි මට හයියක් වුණෙත් නිහාල්. අපිට ඉන්න තැනක් හොයලා දීලා නෑදෑයා සහෝදරයා වෙනුවට නිහාල් අපිත් එක්ක හිටියා.
ඔය අතරෙ තමයි සමන්ත ලෙඩ වෙන්න ගත්තෙ. මගේම අවාසනාවකට සමන්තට තිබුණේ පිළිකාවක්. ඒක දැනගත්ත වෙලේ ඉඳන් මමයි නිහාලුයි පුදුම විදිහට මහන්සි වුණා සමන්තව සනීප කරගන්න. ඒත් අපි පැරදුනා.
වෙච්චි දේවල් දරාගන්න බැරුව මම මානසික ලෙඩෙක් වුණා. වරක් දෙවරක් මං ජීවිතේ නැති කරගන්න උත්සාහ කළා. ඒ හැම මොහොතකම නිහාල් තමයි මාව බේරගත්තේ.
පොඩ්ඩි, අපි අතරෙ කවදාවත් වැරදි සම්බන්ධයක් තිබුණෙ නැහැ. ඒත් මිනිස්සු නොයෙක් කතා හැදුවා. ඒව ඔයාලටත් ආරංචි වෙන්න ඇති. ඒත් ඔයාගෙ තාත්තා දෙවි කෙනෙක්.
ඒ වගේ මිනිස්සු මේ ලෝකෙ නෑ පොඩ්ඩි. මං අද මේ විදිහට ඉන්නේ නිහාල් හින්දා.
ලියුම දිග වැඩි වුණාට මට සමාවෙන්න. මේ
දේවල් නොකියා මං මැරුණොත් මට පව් පිරෙයි .
පොඩ්ඩි, මට සමාවෙන්න. මං ඔයාගෙ තාත්තව
ඔයාලගෙන් උදුරාගත්තේ නෑ
මීට
සමදරා.
ප. ලි. මම මෙහෙණි ආරාමයට යන්න තීරණය කළා. මගේ බැංකු ගිණුමෙ මුදල් වගයක් ඔයාගෙ ගිණුමට බැර කළා. තාත්තා ගාව ඔයාගෙ ගිණුම් තොරතුරු තිබුණ එක උදව්වක් වුණා.
බදුර්නිශා අබ්දුල් අසීස්