Home » ඩොලර් අයැදින බංග්ලාදේශය!

ඩොලර් අයැදින බංග්ලාදේශය!

by gayan
September 7, 2024 1:00 am 0 comment

1991 දී හයවන සාක් සමුළුව පැවැත්වෙන්නේ කොළඹ දී ය. සාමාජික රටවල් හතෙහි රාජ්‍ය නායකයෝ කොළඹට පැමිණියහ. එවකට බංග්ලාදේශයේ අගමැති පදවිය දරන ලද්දේ බෙගම් කලීඩා ෂියා මැතිනියයි. ඇය එදා කියා සිටියේ ශ්‍රී ලංකාවේ මෙන්ම බංග්ලාදේශයේ ද පොදු සතුරා දුප්පත්කම බවයි. ලොව අන්ත දුගී – දුප්පතුන් ලක්ෂ ගණනක් ආසියානු කලාපයේ ජීවත්වන අතර ඔවුනට ආහාර සැපයීම අප ඉදිරියෙහි ඇති ප්‍රමුඛ ගැටලුව වන බවය. ශ්‍රී ලංකාවේ ජනසවිය වැඩසටහන ගැන සඳහන් කළ බෙගම් කලීඩා මැතිනිය බංග්ලාදේශයේ ග්‍රාමීන් බැංකු ක්‍රමය ද ඊට සමාන බව පෙන්වා දුන්නාය. පරිප්පු හා බත් අඩු මිලට සැපයීම සටන් පාඨයක් විය යුතු බව ද ඇය කියා සිටියාය. එකල බංග්ලාදේශය හඳුන්වන අන්වර්ථ නාමය වූයේ ආසියාවේ කඳුළ යන්නය. වැල නොකැඩී ස්වාභාවික විපත් සිදුවීම හා එයින් විශාල වශයෙන් ජනතාව අනාථවීමත් ඊට හේතුව විය. එදා බංග්ලාදේශය ලොව දුප්පත් ම රටවල් අතර විය. ඒ 1970 ගණන්වලය. එහෙත් 1980 ගණන්වල සිට රටේ ආර්ථික තත්ත්වය වෙනස් විය. බංග්ලාදේශය අළුගසා දමා නැඟී සිටින්නට පටන් ගත්තේය.

1990 ගණන් වන විට ආසියාවේ නැඟී එන රාජ්‍යයක් ලෙස බංග්ලාදේශය ප්‍රකට විය. ආර්ථිකය වේගයෙන් ප්‍රසාරණය වන්නට පටන් ගත්තේය. 2000 ගණන් වන විට එරට වාර්ෂික ආර්ථික වෘද්ධිය 8% ඉක්මවා සිටියේය. සාම්ප්‍රදායික නොවන නිර්යාත දියුණු කිරීම ඊට ප්‍රබල හේතුව විය. එහි ප්‍රමුඛ තැන ගත්තේ නිමි ඇඳුම් කර්මාන්තයයි. මුලදී හණ ආශ්‍රිත නිෂ්පාදනවලට ද තේ කර්මාන්තයට ද සීමා වූ අපනයන ක්ෂේත්‍රය පසුව විවිධ අංශවලට ව්‍යාප්ත විය. විදේශීය ආයෝජන නිසා කර්මාන්ත අංශය ශීඝ්‍රයෙන් දියුණු විය. බංග්ලාදේශය තවදුරටත් දුප්පත් රාජ්‍යයක් වූයේ නැත.

2013 අප්‍රේල් 25දා ඩකා අගනුවර ‘Rana Plaza’ නම් ඇඟලුම් කම්හලේ නව ගොඩනැඟිල්ල කඩා වැටිණි. සිමෙන්ති පදාසවලට යටවී පිරිසක් මිය ගියහ. තවත් පිරිසක් තුවාල ලැබූහ. ඉනික්බිති රට පුරා ඇඟලුම් කම්හල් කිහිපයක් කඩා වැටිණි. ඇතැම් කම්හල්වල හිටිහැටියේ ගිනි ගැනීම් සිදු විය. බංග්ලාදේශ රජයට මෙය කළමනාකරණය කිරීමට හෝ වින්දිතයන්ට නිසි ලෙස වන්දි ලබාදීමට හෝ හැකිවූයේ නැත. ඇඟලුම් ක්ෂේත්‍ර‍ෙයන් තරුණ පිරිස ඈත්වන්නට වූ අතර ආයෝජකයෝ රට අතහැර යන්නට පටන් ගත්හ. ‘කොවිඩ්’ වසංගතය නිසා මේ ක්ෂේත්‍රය තවත් දුර්වල විය. බංග්ලාදේශයේ විරැකියාව ශීඝ්‍රයෙන් ඉහළ යන්නට පටන් ගත්තේය.

බංග්ලාදේශ ආර්ථික අර්බුදය හා දේශපාලන අවුල හිටිහැටියේ ඇතිවූවක් නොවේ. එය ක්‍රමිකව පියවරෙන් පියවරට වර්ධනය වූ ක්‍රියාදාමයකි. මේ තත්ත්වය සමාලෝචනය කොට ඊට විසඳුම් සෙවීමට රජය අපොහොසත් වූ බව ද එයින් නිරීක්ෂණය වන්නේ අපරිණත රාජ්‍ය පාලනය බව ද මධ්‍යස්ථ විචාරකයෝ පෙන්වා දෙති. ඔවුනට අනුව අර්බුදය උත්සන්න වූයේ ප්‍රධාන සාධක කිහිපයක් නිසාය.

(I) දුර්වල රාජ්‍ය පාලනය

(II) විපක්ෂයේ බලපෑම

(III) වෘත්තීය සමිති ක්‍රියාමාර්ග

(IV) නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම

(V) විජාතික බලපෑම්

බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තය හඳුන්වන ලද්ද් ශ්‍රමය සූරාකෑමේ දැවැන්ත ව්‍යාපාරයක් හැටියටය. වැඩ කරන අය ගණන, වැටුප්, අතිකාල දීමනා, පහසුකම්, නිවාඩු ප්‍රමාණවත් නොවීය. ඒ පිළිබඳ නියාමනයක් ද නොතිබිණි. මේ අනුව වෘත්තීය සමිති බලවත් විය. ඒවා පාලනයට ද කිසිවකු ඉදිරිපත් වූයේ නැත.

රජයේ මූල්‍ය කළමනාකරණය මෙන්ම කර්මාන්ත ප්‍රතිපත්තිය ද යාවත්කාලීන වූයේ නැත. විදේශීය ණය ගැනීම මෙන්ම ආයාත – නිරියාත සම්බන්ධයෙන් පැවැති අක්‍රමවත් පිළිවෙත ද මීට නිදසුන් ලෙස ගත හැකිය. විදේශ ණය ගැනීම මෙන්ම රාජ්‍ය වියදම් ද ශීඝ්‍ර‍ෙයන් ඉහළ ගොස් තිබේ. වාර්ෂිකව ණය හා පොලී ගෙවීම සඳහා ඩොලර් බිලියන 03ක් සපයා ගැනීමට රජයට සිදු විය. මේ තත්ත්වයට රටේ පාලකයන් වගකිවයුතු බව අමුතුවෙන් කිව යුතු නැත. ෂෙයික් හෂීනාගේ පාලන කාලය තුළ රටේ ආර්ථිකය ප්‍රසාරණය වූ බව බැලූ බැල්මට පෙනී ගියත් එය පවත්වාගත හැකි ක්‍රමෝපාය ආණ්ඩුවට නොතිබූ බව පැහැදිලිය. මීට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වීම, ජනමාධ්‍ය නිදහස නොසලකා හැරීම, දේශපාලන හිතවතුන්ට සැලකීම, නීතියේ ආධිපත්‍යය බිඳවැටීම වැනි සාධක මත ජනතාව දැඩි පීඩනයක පසුවූ බව පිළිගත යුතුය. ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ද බුද්ධිමත් නොවීය. අරගලය මතුවන්නේ එබඳු පරිසරයක් තුළය. ඊට විදේශීය බලපෑම් ද තිබූ බව කියති.

අරගලයෙන් පසු බිහිවූ අන්තර්වාර පාලනය රටේ තත්ත්වය සන්සුන් කරන්නට සමත් වී නැත. අගමැතිනිය පලා ගොස් සිටින්නීය. රජයක් නැත. පාර්ලිමේන්තුව රැස්වන්නේ නැත. රාජ්‍ය සම්පත් කොල්ලකෑම මෙන්ම ගිනි තැබීම ද තවම සිදු වෙයි. අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධානියා වන මහාචාර්ය මොහොමඩ් යූනුස් මහතා ද අන්ත – අසරණ තත්ත්වයකට පත්ව සිටී. ඔහුට අන්තර්ජාතික සහයෝගය ලැබෙන බවක් ද පෙනෙන්නට නැත. ඊළඟ මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, පොදු සේවා පවත්වා ගැනීම හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ආනයනය කිරීම ද ගැටලුසහගතය. මුළු රටම අරාජිකය. පොලිසිය හා ත්‍රිවිධ හමුදාව අක්‍රීය වී ඇත. බංග්ලාදේශය මහා අගාධයක් වෙත තල්ලු වෙමින් සිටින්නේ යැයි කීම නිවැරැදිය.

මේ තත්ත්වය යටතේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඩො. බි. 08ක ණය මුදලක් බංග්ලාදේශය ඉල්ලා සිටී. ණය ගෙවන්නේ කෙසේ ද? ආර්ථිකය යථාවත් වන්නේ කවදා ද? දේශපාලන අර්බුදය නිමා වී රටේ සාමය තහවුරු වන්නේ කවදා ද? මේ ගැටලුවලට පැහැදිලි උත්තර නැතිව ජගත් ආයතන ණය ලබා දෙන්නේ නැත. උද්ගත වී ඇත්තේ අතිශය බරපතළ තත්ත්වයකි. අපරිණත රාජ්‍ය පාලනය මෙන් ම ජනතාවගේ මෝඩ – අමනෝඥ තීන්දු – තීරණ ද රටක් විනාශයට ගෙන යන බව බංග්ලාදේශය අපට කියා දෙන අලුත්ම පාඩමය.

රන්ජන් අමරරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT